කම්පියුටර් ජිල්මාට් සහ තාජුඩීන් ජිල්මාට්.


'ඔන්න දැන් කියයි සී.සී.ටී.වී. දර්ශන හඳුනාගන්න බැහැ කියලා...'

මේ තාජුඩීන් ඝාතනයෙන් සී.සී.ටී.වී. දර්ශන ලැබුණු බව ආරංචි වූ විගස යහපාලන ටොයියෝම කී කතාවය. කිව්වා වගේම දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස්ට වාර්තා කොට ඇත්තේ එම සී.සී.ටී.වී. දර්ශන හඳුනාගත නොහැකි බවය.

'කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ මතය ස්වාධීනද...?'

ප්‍රශ්නය තියෙන්නේ එතැනය. 2010 ජනාධිපතිවරණයේදී ප්‍රතිඵල නිකුත් කිරීම භාරදී තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයටය. 2010 මහ මැතිවරණයේ ප්‍රතිඵලය කොම්පියුටර් ජිල්මාට් එකක් යැයි එවකට විපක්‍ෂයේ අපේක්‍ෂක සරත් ෆොන්සේකා පමණක් නොව එ.ජා.ප. සහ ජ.වි.පෙ. නායකයෝද චෝදනා කළහ. එම කොම්පියුටර් ජිල්මාට් එක සිදු වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය හරහා බවට සැකයක් පවතින බව ජනාධිපතිවරණ දේශීය නිරීක්‍ෂකයන්ගේද මතය විය. මෙම කොම්පියුටර් ජිල්මාට් කතාව රට පුරා පැතිර යන විට එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශ අධ්‍යක්‍ෂ ආචාර්ය රුවන් වීරසිංහ පැවැසුවේ ජිල්මාට් කතාව සම්පූර්ණ අසත්‍යයක් බවය. පහත පළ වන්නේ ඔහු බී.බී.සී. සන්දේශ සේවයට 03.02.2010 දින කළ ප්‍රකාශයය.

'ප්‍රතිඵල පරිගණකයට ඇතුළු කරන්න කලින් හොඳට පරීක්‍ෂා කරල එන්නේ. අප ආයතනය අපක්‍ෂපාතී ආයතනයක් බවට පිළිගැනීමක් තියෙනවා. පරිගණකයෙන් ඡන්ද දූෂණ කරන්න ඉඩක් ලංකාවේ නැහැ. මෙය අසත්‍ය චෝදනාවක්...'

කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අංශය මහින්දගේ ජයග්‍රහණයට සහතික දුන්නේ එසේය. එහෙත් එකල විපක්‍ෂය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ මේ සහතික පිළිගත්තේ නැත. ඔවුන් චෝදනා කළේ මෙය මහින්දට සුදු හුනු ගෑමක් ලෙසය. ඔවුන් කීවේ ඉතිහාසයේ පළමුවරට පරිගණක කුමන්ත්‍රණයක් සිදු වී ඇති බවය.

'අදත් තාජුඩීන් ඝාතනය ගැන කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අංශය කරන්නේ සුදු හුනු ගාන එකද...?'

ඒක කියන්න දන්නේ නැත. හැබැයි 2010 ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වූ පසු දින රාත්‍රියේ සාදයකට ආ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහින්දගේ ප්‍රබල ඇමැතිවරයෙක් කීවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය වෙනස් කළ හැටිය. ඔහු එය කීවේ මහා ලොකු කයිවාරුවක් ලෙසය. 2010 ජනාධිපතිවරණයට පසුව පැවැති 2010 මහ මැතිවරණයේ මනාප ප්‍රතිඵල ගැනද විපක්‍ෂයට පමණක් නොව ආණ්ඩුවේම නායකයෝද පුදුම වූහ. මනාප ප්‍රතිඵල ප්‍රකාශ කරද්දීත් කම්පියුටර් ජිල්මාට් සිදු වී ඇති දැයි ඔවුහු සැක පහළ කළහ.

'එවැනි ආයතනයකින් තාජුඩීන් ඝාතනය ගැන සහතික ගන්න තරම් මේ ආණ්ඩුවට ඔල්මොරොන්දම්ද...?'

ජනතාව අහන්නේ ඔය ප්‍රශ්නයය. මේ ආණ්ඩුව තිත්ත වේගෙන යන්නේ අහවල් දෙයක් නිසා නොව හොරු මිනීමරුවන් අල්ලන්නේ නැති නිසාය. හොරු මිනීමරුවන් අල්ලන්න ජනතාව ජනවරමක් දුන්නේ මෛත්‍රිපාලටය. මෛත්‍රි ඒ ජනවරම ක්‍රියාත්මක නොකර විදේශීය නායකයකුගේ සංගීත ප්‍රසංගයකදී වේදිකාවට වීසි වුණු තනපටයකට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න යනවා නම් එය විහිළුවකි. අද තියෙන්නේ වේදිකාවකට වීසි වුණ තන පටයක ප්‍රශ්නයක් නොවේ. ලංකාවේ ගමේ සංගීත සන්දර්ශනයක් අවසානයේ පිට්ටනිය පීරුවොත් ඕනෑ තරමට උපත් පාලන කොපු තනපට පමණක් නොව තව බොහෝ දේ සොයා ගත හැකිය. මෛත්‍රි කරන්න ඕනෑ ඒවා හොයන එක නොව මිනීමරුවන් හොරුන් මංකොල්ලකරුවන් හොයන එකය. මෛත්‍රි පත් කර ගන්නා උපදේශකයන් දිහා බලන කොට මෛත්‍රිට ඒවා ගැන හොයන්න උපදෙස් දෙන අය ඒ අතර නැත. ඔවුන් උපදෙස් දෙන්නේ තනපට ගැන හොයන්න විය යුතුය. මන්ද මේ උපදේශකයන් ජනවාරි 8 වන තෙක් මහින්දට කඩේ ගිය අයය. දැන් මෛත්‍රිට කිට්ටු වෙන්නේත් මහින්දව බේරා ගන්නටය.

'ජනාධිපතිතුමනි මහින්දට අත තියන්න එපා. ශ්‍රී ල.නි.ප.ය කලබල වේවි...'
'ජනාධිපතිතුමනි ගෝඨාට මුකුත් කරන්න එපා. දේශප්‍රේමීන් තරහ වේවි...'

මේ උපදේශකයන් මෛත්‍රිට දෙනවා ඇත්තේ ඔය වගේ දිරච්ච ලණුය. හේතුව මේ කාටවත් ජනවාරි 8 ජනවරම දැනෙන්නේ නැත. ඔවුන් තවම ජීවත් වන්නේ මහින්දගේ යුගයේය. ඔවුන්ට දැනෙන්නේ මහින්දගේ ජනවරමය. මෛත්‍රි මෙය තේරුම් නොගැනීම අවාසනාවකි.

2001 රනිල්ටත් මේ වැඩේම වුණේය. රනිල් චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ දූෂණ වංචා මිනීමැරුම් හොයන්න යද්දී චන්ද්‍රිකා කොන්දේසියක් දැම්මාය. එම කොන්දේසිය නම් තමා රනිල්ගේ ආණ්ඩුවේ අවුරුදු පහ යන තෙක් ආණ්ඩුවට අත නොතියන්න නම්, පාර්ලිමේන්තුව නොවිසුරුවා ඉන්න නම් ඇයටත් ඇයගේ ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන්ටත් එරෙහි පරීක්‍ෂණ නතර කළ යුතුය යන කොන්දේසියය. රනිල් එම කොන්දේසියට අවනත විය. චන්ද්‍රිකා තමා නිල කාලය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැති බවට කතානායකවරයාට ලිඛිත ලිපියක් දුන්නාය. රනිල් හිටපු ඇමැතින්ට එරෙහි පරීක්‍ෂණ නතර කරන්න නියෝග දුන්නේය. වැඩි කලක් ගියේ නැත. රනිල්ගේ ආණ්ඩුව අප්‍රසාදයට පත්වීගෙන එද්දී චන්ද්‍රිකා ආණ්ඩුවට වැටෙන්න ගැහුවාය. කතානායකට දුන්න ලිඛිත පොරොන්දුව ඇය කුණු බක්කියට දමා පාර්ලිමේන්තුවද විසිරෙව්වාය.

තමාට සහ පවුලට එරෙහි පරීක්‍ෂණ නතර කරන්නේ නම් තමන් මෛත්‍රිට ශ්‍රී ල.නි.ප. නායකත්වය ශක්තිමත් කරගන්න උදවු කරන්නම් යැයි මහින්ද කියනවාද දන්නේ නැත. අපි වේලාවට මෛත්‍රි ළඟට එන්නම් කියා මහින්දවාදීන් බෝල උඩ දමනවාද කියන්න දන්නේ නැත. මෛත්‍රිගේ වටේ ඉන්නා උපදේශකයන්ද මහින්දවාදීන් දිනා ගැනීමේ ආශ්චර්ය තරම් ආශ්චර්යක් මිහි පිට නැති බව මෛත්‍රිට පෙන්වා දෙනවා වගේය.

හැබැයි මහින්දවාදීන් දිනා ගැනීමේ ආශ්චර්යයට වඩා ජනවාරි 8 ජනවරම දිනා ගැනීමේ ආශ්චර්යයේ තරම මෛත්‍රි නොදන්නවා විය නොහැකිය. මෛත්‍රිට ලක්‍ෂ 62ක් ඡන්දය දුන්නේ තාජුඩීන් ඝාතනයේ සැකකරුවන්ට ලසන්ත, ප්‍රගීත් මාධ්‍යවේදීන් ඝාතකයන්ට, හොරුන්ට මංකොල්ලකාරයන්ට දඬුවම් දෙන්නටය. මහින්දට ලක්‍ෂ 57ක් ඡන්දය දුන්නේ මහින්දගේ පාලන කාලය තුළ සිදු වූ ඝාතන හොරකම් වහන්නටය. අර ලක්‍ෂ 62ක් ජනාධිපති වී මහින්දට ඡන්දය දුන් ලක්‍ෂ 57න් උපදෙස් ගෙන මෛත්‍රි රට පාලනයට කරන්න යනවා නම් එය ඓතිහාසික ඛේදවාචකයකි.

මෛත්‍රිපාල ජනාධිපති වී මාසයකට ළං වෙද්දී පොළොන්නරුවේ අරලගංවිල ගිහින් මරු කතාවක් කළේය. පහත දැක්වෙන්නේ එම කතාවය.

අප කරන සියලු වැඩවල ප්‍රමුඛතාව ජනතාවගේ අවශ්‍යතාව සඳහා විය යුතුයි. අප කරන වැඩවලට යෝජනා ඉහළින් එන්න බැහැ. පහළින් එන්න ඕන. ගමෙන් එන්න ඕන. දූෂණ, වංචා, අක්‍රමිකතා සිද්ධ නොවෙන්න ඕන. පසුගිය මැතිවරණ කාලෙ අපි දූෂණ, වංචා ගැන බොහෝ දේ කතා කළා. දැන් මාසයක් ගත වෙලා තියෙනවා. මමත් දැන් බලනවා මේ දූෂණ, වංචා මහා පරිමාණයෙන් කරපු අය ගැන අරගන්නවා කියපු ක්‍රියාමාර්ග තවමත් නැත්තේ මොකද කියන එක. ඒක මටත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තරාතිරම්, පදවි තානාන්තර, මොන පක්‍ෂයේද ඒ කිසිවක් නොසලකා ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් ප්‍රතිඥා, අනුව රටේ මහජන සම්පත් පාවිච්චි කරපු හොරකම් කරපු, මංකොල්ලකාපු සියලු දෙනාට විරුද්ධව ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග අපි ගන්නවා.

මම මේ සතියෙ බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා සතු බලතල පාවිච්චි කරලා මහ පරිමාණ බරපතළ වංචා, දූෂණ කළ අයට දඬුවම් දීම සම්බන්ධ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්න. ඒ තුළ හාල්මැස්සො, සාලයෝ නොවෙයි තෝරු, මෝරු සඳහා ඒ කොමිෂන් සභාව පිහිටුවනවා. ජනතාව බලා ඉන්නවා මේ වංචනිකයන්ට, දූෂිතයන්ට කොයි මොහොතේ දඬුවම් කරනවාද කියා. අධිකරණයට ඉදිරිපත් කරනවාද කියා. දැනුත් ප්‍රමාද වැඩියි. මේ වැඩ කාර්යක්‍ෂමව කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිසම ගේනවා. මීට වඩා මම කතා කරන්නෙ නැහැ. ඔබේ ලෙයින් කඳුළින් මා වෙත දැක්වූ ආදරයට නැවත ස්තුති කරනවා.

'මව්බිම'
11.02.2015

'ජනාධිපතිතුමනි වසරක්ම ගත වුණා. හොරුන්ට එරෙහිව තවම ක්‍රියාමාර්ග නොගැනීම අපටත් ප්‍රශ්නයක්.'

මෛත්‍රිට ඡන්දය දුන් ලක්‍ෂ 62ක් අද මතුරන්නේ ඔය මන්තරයය. මෛත්‍රිම කිව්වැහේ කියන්න තියෙන්නේ හෙට ප්‍රමාද වැඩියි කියන එකය.



Share on Google Plus