ඇප ලැබුණු හිරුණිකාට යළි උසාවි එන්න නියෝග.


දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකු අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන යෑ, කුමන්ත්‍රණය කිරීම සහ පැහැරගෙන යෑමට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ඇතුළු සැකකරුවන් 9 දෙනාට හෙට (12දා) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එම්.එම්.එම්. මිහාල් මහතා පෙරේදා (9දා) නියෝග කළේය.

මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම වූයේ කඩුවෙල, හේවාගම, රාමහැර පාර පදිංචි පැලවත්ත විතානගේ කැලුම් නිරංජ, කොළොන්නාව, පැරකුම්බා මාවත පදිංචි මලින්ද ජයතිලක, පාදුක්ක ගම්මාන පාර පදිංචි රූපසිංහ ආරච්චිගේ කසුන් සම්පත්, හෝමාගම මාගම්මන පදිංචි ඉන්දික රුවන් පුෂ්පකුමාර ද සොයිසා, වැල්ලම්පිටිය කිත්තම්පහුව පදිංචි මයිකල් ඇන්ටනී ජොන්සන්, සියඹලාපේ උතුර පදිංචි පසිඳු සංජීව අබේසිරිවර්ධන, බොරැල්ලේ පදිංචි නියාස් මොහොමඩ් රිස්වාන් ජෙගනාදන් ඇන්ටනි යන සැකකරුවන් 8 දෙනාට සහ සැකකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියටය.

දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටා තිබෙන තම වෙළෙඳසලේ සේවය කළ වැල්ලම්පිටිය පදිංචි අමිල ප්‍රියංග අමරසිංහ නමැති අයට ඉකුත් දෙසැම්බර් 21 වැනිදා දහවල් 2.30ට පමණ පැමිණි පුද්ගලයන් 6 දෙනකු විසින් පහරදී අංක 62-1859 දරන කළු පැහැති ජීප් රථයෙන් පැහැරගෙන ගිය බවට කලීල් මොහොමඩ් සෆ්රිනාත් මහතා පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.

මේ සිද්ධියට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පෞද්ගලික ආරක්ෂකයන් ඇතුළු සැකකරුවන් 8 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් ඇප මත මුදා හැර තිබිණි.

සිද්ධියට අදාළව නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් කොළඹ 05 හැව්ලොක් පාර නො. 185 5/1 ඒ ලිපිනයේ පිහිටි නිවෙසේ සිටි හිරුණිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර නමැති සැකකාර මන්ත්‍රිවරිය පෙරේදා (9දා) පෙරවරු 9ට පමණ අත්අඩංගුවට ගෙන දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

පුද්ගලයකු අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් පැහැරගෙන යෑම, කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යෑමට ආධාර අනුබල දීම, අයුතු සිරකර තැබීමට තැත් කිරීමේදී අඩන්තේට්ටම් කිරීම හෝ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදානවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාව මේ සිද්ධිය සම්බන්ධයෙන් මුල සිටම පරීක්ෂණ සඳහා සහාය ලබා දුන් බැවින් ඇය ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

සැකකාරිය විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තිය සමඟ කියවිය යුතු 314,333,348,366 වැනි වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බව නීතිපතිවරයා සඳහන් කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත දන්වා සිටියේය.
මේ සිද්ධියට අදාළ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පවත්වා අවසන්ව තිබීම තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොමැති බව පොලිසිය අධිකරණයට දන්වා සිටීම යන කරුණු මත සැකකාරියට ඇප ලබාදීමට අධිකරණය තීරණය කළේය. ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හරින ලෙස අතිරේක මහෙස්ත්‍රාත් එම්.එම්.එම්. මිහාල් මහතා නියෝග කළේට.

සැකකාරිය වෙනුවෙන් ඇයගේ ස්වාමිපුරුෂයා සහ ඇගේ මව ඇප අස්සන් කර තිබිණි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදිසිංහ, සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්. චන්ද්‍රතිලක, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ප්‍රේමතිලක, පොලිස් පරීක්ෂක සෝමතිලක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Share on Google Plus