පැහැරගත් තරුණයා ගෙනාවේ හිරුණිකා ළඟට?


දෙමටගොඩදී කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගත් පුද්ගලයා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හමුවට රැගෙන ගිය බවට කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

පස්වැනි සැකකරුගේ දියණිය විසින් ලබාදී තිබෙන කටඋත්තරයකට අනුව ඒ බව තහවුරු වන බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

ඉකුත් 21 වැනි දින හිරුණිකා මැඩම් හමුවීමට කාර්යාලයට ගිය පියා මැඩම්ව හමුවී එතැන සිටි කිහිප දෙනකු සමඟ කළුපාට ජීප් රථයකින් දෙමටගොඩ රෙදි කඩයට ගිය බවත් එහි සිටි රතු ටී ෂර්ට් ඇඳ ගත් අංකල්ව හිරුණිකා මැඩම් ළඟට ගෙන ආ බවත් සැකකරුගේ දියණිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

පස්වැනි සැකකරුගේ දියණියගේ ප්‍රකාශයක් 2015/12/30 වන දින සටහන් කර ගත් බව පැවසූ කොළඹ අපරාධ කොට්ඨාසය සිය මව වෙනත් පුරුෂයෙකු සමඟ ඉකුත් 20 වන දින ගිය බවත් එම පුද්ගලයා ලුනාව දේවාලය ළඟ රෙදි කඩයක සේවය කරන අතර ඔහු පෙන්වා දිය හැකි බවට පියාට දැනුම් දුන් බවත් දියණිය ප්‍රකාශයක් කරමින් දන්වා සිටියේ යැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

රතු පාට ටී ෂර්ට් එකක් ඇඳ සිටි අයෙකු අම්මා සමඟ සම්බන්ධකම් පවත්වන අය බවට පෙන්වා දුන් බවත් පසුව එම අංකල් රැගෙන හිරුණිකා මැඩම් ළඟට ගෙන ගිය බවට පස්වන සැකකරුගේ දියණිය පොලිසිය වෙත ප්‍රකාශ කර තිබිණ.

සිද්ධියට අදාළව WP1 / 215/15යොමු අංකය යටතේ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගත් බව පැවසූ කොළඹ අපරාධ කොට්ඨාසය නීතිපතිවරයාගේ උපදෙස් මත 2015/12/30 වන දින රිමාන්ඩ් බාරයේ සිටින පස්වන සැකකරුගෙන් නැවත ප්‍රකාශයක් ලබාගත් බවට අධිකරණය හමුවේ පවසා සිටියේය.

මීට අමතරව පස්වන සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127(1) වගන්ති ප්‍රකාරව රහස් ‍ප්‍රකාශයක් ලබාදීමට කැමැත්ත පල කර සිටින බැවින් ඊට අදාළ පහසුකම් ලබන මස 4 වන දින සලසා දෙන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පස්වන සැකකරු සිද්ධියට අදාළව රහස් ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බැවින් ඔහු සෙසු සැකකරුවන්ගෙන් වෙන් කර තබන ලෙසට නියෝගයක් බන්ධනාගාර අධිකාරිවරයාට කරන මෙන්ද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණ.

2015/12/22 දින හා 2015/12/23 වන දින කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සිය කාර්යාලයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කැඳවා මාධ්‍ය ප්‍රකාශයක් ලබාදී ඇති බව පැවසූ පොලිසිය එම මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි 2 බැගින් විමර්ශනයට ලබා ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බව පැවසීය.

ඒ අනුව අදාළ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන‍ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ලබාදෙන ලෙසට සියලු විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරු වෙත නියෝගයක් කරන ලෙසට ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

Share on Google Plus