හාමුදුරුවන්ට ගුරුකම් තහනම්.


ගුප්ත විද්‍යා කටයුතුවල නියැළීම හෝ ඒවා කරගෙන යෑම සහ එම කටයුතුවලට දඬුවම් ලබාදිය හැකි වගන්තිද ඇතුළත් ථෙරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවට ඊයේ (12දා) ඉදිරිපත් කෙළේය.

තෛ්‍රනිකායික භික්ෂුන් වහන්සේගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින් ථෙරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පත සම්පාදනය කර ඇත.

වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම, රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම හා වාහන පැදවීම, අධ්‍යාපනය සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ යම් රැකියාවක නියුක්ත වීමට තෛ්‍රනිකායික භික්ෂුන්ට හැකියාවක් නොමැති බවද පනත් කෙටුම්පතෙහි සඳහන්ය.

ප්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට අකැප අයුරින්, භික්ෂු ජනයාට පටහැනි ක්‍රියාවන්හි නියැළීමද දඬුවම් ලැබිය හැකි වරදක් වන්නේය.

පනත් කෙටුම්පතෙහි සඳහන් වැරැදි සඳහා දඬුවමද කතිකාවතේ ඇතුළත් කළ හැකි බවද එහි සඳහන් කර තිබේ.

වැඩ සිටින විහාරස්ථානයෙන් එම භික්ෂුන් වහන්සේ තාවකාලිකව හෝ ස්ථීරව ඉවත් කිරීම, විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව හෝ ස්ථීරව ඉවත් කිරීම, ශිෂ්‍ය භාවයෙන් ඉවත් කිරීම සහ භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීම අදාළ වැරැදි සඳහා ලබාදෙන දඬුවම්ය.

කතිකාවතෙහි සඳහන් කළ විධිවිධාන උල්ලංඝනය කරන භික්ෂුවක් සම්බන්ධයෙන් අදාළ නිකායේ කාරක සංඝ සභාව පරීක්ෂණ පැවැත්විය යුතුය. චෝදනාවන්ට වරදකරු වන භික්ෂුවක් කාරක සංඝ සභාව නියම කරන පෙර සඳහන් කළ දඬුවම් පිළිපැදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් පනත යටතේද එම භික්ෂුව වරදකරු කර මහෙස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවා රුපියල් පනස් දහසකට නොඅඩු දඩයක් හෝ මාස හයකට නොවැඩි සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම හෝ ලබාදිය හැකිය.
යම් ලෙසකින් වරදකරුවකු වන භික්ෂුන් වහන්සේ නමක් වෙනත් නිකායක් හෝ පාර්ශ්වයක් විසින් භාරගැනීම, භික්ෂුවක් ලෙස ලියාපදිංචි කිරීම නොකළ යුතු බවද පනත් කෙටුම්පතෙහි දක්වා තිබේ.


Share on Google Plus