අර්ජුන මිඩියා එකෙන් පලිගත්තේ නෑලු. (Update)


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශ ප්‍රධානී කාර්යාලය සීල් තැබීමට ගත් පියවරට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත්, වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට වරායේ ක්‍රිකට් ගැසීමට ඉඩ නොදෙන  බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත ලංකා පොදු සේවක සංගමයේ සභාපති චන්ද්‍රසිරි මහගමගේ මහතා පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම සීල් තැබීම ඊයේ (05දා) සවස සිදුකර තිබෙන බවත්, මූල්‍ය අක්‍රමිකතාවක් ඒ සඳහා හේතු ලෙස දන්වා ඇති බවද ඔහු පැවසීය.

වරාය විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ නියෝගය මත ඔහුගේ සොයුරු,  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා විසින් මෙම පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශයේ ප්‍රධානියා වන්නේ ප්‍රවීන ක්‍රිකට් විචාරකයෙකු වන නලින් අපොන්සු මහතාය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සාමාජිකයෙකු ලෙස දිගුකලක් කටයුතු කර ඇති අයෙකි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා සමාජයේ උප සභාපතිවරයෙකු වන අපොන්සු මහතා ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාද වේ.

ජනසතු සේවා ක්‍රිකට් සංගමය පසුගියදා රැස්වී ක්‍රිකට් නිළවරණයේදී සභාපතිධූරය සඳහා තරගවැද සිටින තිලංග සුමතිපාල මහතා වෙනුවෙන් සිය ඡන්දය පාවිච්චි කරන ලෙස තීන්දුවකට එළඹියද, පසුගිය 03 වැනිදා පැවති ක්‍රිකට් ආයතනයේ නිළවරණයේදී සභාපතිධූරය සඳහා පැවති ඡන්දයේදී අපෙන්සු මහතා ඡන්දය දීමෙන් වැලකී සිටියේය. එහෙත් උප සභාපතිධූරය සඳහා තරග වැදුණු තම විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා වෙනුවෙන් අපොන්සු මහතා සිය ඡන්දය පාවිච්චි කළේය.

ජනසතු සේවා ක්‍රිකට් සංගමය තිලංග සුමතිපාල මහතාට පක්ෂව ඡන්දය දීමට තීන්දු කළද, නිශාන්ත රණතුංග මහතාට එම ඡන්දය ලබාදෙන්නැයි රණතුංග පාර්ශ්වයෙන් බලපෑම් තිබූ බව කියවේ. ජනසතු සේවා ක්‍රිකට් සංගමය නියෝජනය කරන රාජ්‍ය ආයතනවල නිළධාරීන්ට රණතුංග පාර්ශ්වයෙන් දැඩි බලපෑම් එල්ල වූ බව ක්‍රිකට් ආයතනයේ නව සභාපති තිලංග සුමතිපාල මහතා පෙරේදා (04) මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටි අතර එසේ තර්ජනයන් පටිගත කළ දුරකතන සංවාද ඉදිරියේදී මාධ්‍ය වෙත ලබාදීමට සභාපතිවරයා මාධ්‍යවේදීන්ට පොරොන්දු වී තිබේ. මෙහිදී රවී කරුණානයක මහතාට අයත් මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරී රොෂාන් යාපා මහතාටද මෙසේ රණතුංග පාර්ශ්වය විසින් දුරකතනයෙන් තර්ජනය කර තිබේ.

නිළවරණයෙන් පැය 24 ක් ඉක්මයාමට මත්තෙන් නලින් අපොන්සු මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල වී තිබේ. එමෙන්ම අද පෙරවරුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පිරිස් කළමනාකරු කැඳවා ඇති සභාපති ධම්මික රණතුංග මහතා නලින් අපොන්සු මහතාව අස්කිරීමට කුමන හෝ කාරණයක් වහාම සොයාගන්නා ලෙස උපදෙස් දී තිබේ. 'හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රමව පටලවා හෝ චෝදනාවක් නිර්මාණය කරන ලෙස' ධම්මික රණතුංග මහතා පිරිස් කළමනාකරුට උපදෙස් දුන් බව වරායේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මේ අතර නලින් අපොන්සු මහතා බියවැද්දීම සඳහා විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා විසින් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලිපිගොනුවක් යැවූ බවද වාර්තා වේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශ ප්‍රධානී නලින් අපොන්සු මහතා පවසන්නේ එම පුවත සම්පුර්ණ අසත්‍යක් බවයි.

එම නිවේදනය පහතින්,

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදනය අංශයේ ප්‍රධානී කාර්යාලයට සීල් තබා ඇති බවට ඇතැම් මාධ්‍ය කළ ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධාරණය කරයි. මේ වන විට හම්බන්තොට වරායට වතුර පිරවීමේ ජාතික උත්සවයේදී සිදුව ඇතැයි පවසන මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත. එම විමර්ශනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ ලිපිලේඛනවල පිටපත්ද ඇතුළත්ව අසා ඇති ප්‍රශ්නවලට විස්තරාත්මක පිළිතුරු සහිත සම්පූර්ණ වාර්තාවක් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලබා දෙන ලෙසට එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතාගේ නියමය පරිදි වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට දැනුම් දෙන ලදි.

එකී දැනුම් දීම පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සැකසූ වාර්තාව ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවකින් නැවත අධ්‍යයන කෙරිණ. එහිදී අනාවරණය වූයේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විමසූ ප්‍රශ්න සඳහා ප්‍රමාණවත් පිළිතුරු සහ ලිපි ලේඛන එකී වාර්තාවට ඇතුළත් නොමැති බවයි. මේ හේතුවෙන් නැවත වාර්තාව සකසන ලෙසත් සියලු ලේඛන සහ සත්‍ය තොරතුරු පමණක් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලබා දෙන ලෙසටත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මැතිතුමා ඉහළ නිලධාරීන්ට උපදෙස් දුණි.

කෙසේවෙතත් එම උත්වයට අදාල වැදගත් ලිපි ලේඛන සහ තොරතුරු අස්ථාන ගත වීමේ හැකියාවද මෙම කමිටු රැස්වීමේදී සාකච්ඡා විය. කමිටු රැස්වීමට එක් වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මූල්‍ය අධ්‍යක්ෂවරිය පෙන්වා දුන්නේ හම්බන්තොට වරායට වතුර පිරවීමේ ජාතික උත්සවයේ ප්‍රවර්ධන කාර්යයන් සහ කලාත්මක නිර්මාණ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන සහ මහජන සම්බන්ධතා කොට්ඨාසය මගින් සිදු කළ බවයි. ඒ සඳහා ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුමගනය කර නැතැයිද මූල්‍ය අධ්‍යක්ෂවරිය තහවුරු කළේය. එමෙන්ම හම්බන්තොට වරායට වතුර පිරවීමේ ජාතික උත්සවයේ මූල්‍ය පරිහණය සම්බන්ධව අභ්‍යන්තර විගණනයක් හෝ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණනයක් හෝ කර ඇත්දැයි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවද විමසා තිබේ. 


මෙම තත්ත්වය සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වය සන්නිවේදන සහ මහජන සම්බන්ධතා කොට්ඨාසයේ මූල්‍ය භාවිතය ගැන අභ්‍යන්තර විගණනයක් කිරීමට අදාල අංශ වෙත උපදෙස් ලබා දුණි. හම්බන්තොට වරායට වතුර පිරවීමේ ජාතික උත්සවය සම්බන්ධ වැදගත් ලිපිලේඛන එම කොට්ඨාසයේ තැම්පත් කර ඇති බැවින් අදාල සියලු ලේඛන තමන් භාරයට ගන්නා ලෙසද අභ්‍යන්තර විගණන අංශයට උපදෙස් දුණි. මේ වන විටත් එම ක්‍රියාවලිය සිදු වෙමින් පවතී.  ඒ හැරෙන්නට ඇතැම් මාධ්‍ය වාර්තා කළ පරිදි වෙනත් කිසිදු සිදුවීමක් නොවූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වගකීමෙන් දැනුම් දෙයි. එමෙන්ම ඇතැම් පුද්ගලයින් ලබා දුන් විවිධ ප්‍රකාශ සත්‍යයෙන් තොර බවද අවධාරණය කෙර්. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සත්‍ය තොරුතුරු මහජනතාවට ලබා දෙන මෙන මෙන් ඔබ මාධ්‍ය ආයතනයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.


Share on Google Plus