2016 දී පෙරැළි රැසක්.


උදා වූ 2016 නව වර්ෂය අභ්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ පෙරැළි රැසක් සිදුවන වර්ෂයක් බවට පත්වන පෙරනිමිති පහළ වී තිබේ.

යහපාලන ආණ්ඩුව පෙරැළීමට ලබන වසර ආරම්භයේ සිටම කටයුතු මෙහෙයවන බවට ඒකාබද්ධ විපක්ෂය ඉකුත් වර්ෂයේදී ශපථ කළේය.

ඒ අනුව යහපාලන ආණ්ඩුවේ යථාර්ථය ජනතාවට හෙළිකරමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩනැංවීමට ඒකාබද්ධ විපක්ෂය මේ වර්ෂයේ ආරම්භයේ සිටම සූදානම් වෙයි.

තවද ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු අඩාල කිරීම සඳහා මේ වර්ෂයේදී එක්තරා දේශපාලන කණ්ඩායමක මඟපෙන්වීම යටතේ වෘත්තීය සමිතියක මෙහෙයවීමෙන් ජනවාරියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති මෙහෙයුමක් සම්බන්ධයෙන් පසුගිය වර්ෂාවසානයේදී රජයේ බුද්ධි අංශ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වාර්තාවක්ද භාරදී තිබිණි.

ඊට ශක්තිමත්ව මුහුණදීම සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට සම්බන්ධ සෙසු පක්ෂ සහ ඉකුත් ජනවාරි 8 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ධුරයට පත් කිරීමට සහාය දුන් සිවිල් සංවිධානවල එකමුතුවෙන් ලබන සතියේදී සාකච්ඡා ආරම්භ කිරීමට ආණ්ඩුව සැලැසුම් කර ඇත.

මේ අතර යහපාලන ආණ්ඩුව යටතේ පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණු ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් වන පරීක්ෂණ මේ වනවිට අවසන්ව ඇති අතර ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර කඩිනමින් ගැනීමටද රජය තීරණය කර තිබේ.

පසුගිය සමයේදී සමාජයේ දැඩි අවධානයට ලක්වූ විදේශ රටවල් දෙකක ඇති මෙරට ප්‍රභූ බැංකු ගිණුම්වල තොරතුරු මේ වසර මැද භාගයට පෙර හෙළිදරව් වන බවටද ඉඟි පහළ වී ඇත.

නව වසරේදී පාර්ලිමේන්තුව රැස්වන මුල්ම දිනය වන ජනවාරි 9 වැනිදා පිල් මාරුවක් සිදුවන බවටද දේශපාලන ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කරන අතර එම පිල් මාරුව දින කිහිපයක් තිස්සේ සිදුවනු ඇති බවටද එම ආරංචි මාර්ග තොරතුරු තහවුරු කරයි. තවද ජනවාරි මස අවසානයේදී හෝ මාර්තු මාසය මුලදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවනු ඇතැයිද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තොරතුරු හෙළිකරයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් නව දේශපාලන සන්ධානයක් පිහිටුවන ලකුණුද පහළ වී ඇති අතර උතුරේ වැඩි දේශපාලන බලයක් දැරූ දෙමළ ජාතික සන්ධානයේ එම බලය අභියෝගයට ලක් කරමින් උතුරේ මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන බලවේගයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉකුත් වර්ෂයේ මතුවූ කසුකුසු මෙම වර්ෂයේදී යථාර්ථයක් බවට පත්වනු ඇති බවද දේශපාලන අංශ තොරතුරු තහවුරු කරයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් එළැඹෙන පළාත් පාලන ඡන්ද සටන සමඟ එළිදැක්වීමට නියමිතය.

රටේ දේශපාලන ක්‍ෂේත්‍රයේ පෙරැළි රැසක් මෙසේ සිදුවද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් පිරිසක් පුළුල් සන්ධානයකින් ඉදිරි දේශපාලන සටනට අවතීර්ණ වීමටද සැලැසුම් සකස් කර තිබේ.

Share on Google Plus