රාජපක්ෂ පවුලේ ගිණුමක ඩොලර් බිලියන 1.4ක්?


රාජපක්ෂ පවුලේ සාමාජිකයකු හා එම පවුලේ සමීපතමයන් තිදෙනකු ඩුබායිහි පෞද්ගලික බැංකුවක පවත්වා ගෙන යන ගිණුම් තුනක ‍අමෙරිකානු ඩොලර් බිලියන 1.4කටඅධික මුදලක් පවතින බව මේ වන විට හෙළිදරව් වී ඇතැයි කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.

ඔහු පෙන්වා දුන්නේ මෙම ගිණුම් තුනෙන් ‍රාජපක්ෂ පවුලේ සාමාජිකයකුට අයත් ගිණුමක අමෙරිකානු ඩොලර් බිලියන 1.086ක් පවතින බව හෙළිදරව් වි ඇති බවයි.

ඇමති රාජිත සේනාරත්න මේ බව පැවැසුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මීට අමතරව එම පවුලට ඉතා සමීප සම්බන්ධයක් තිබෙන මන්ත්‍රීවරයකු වූ ව්‍යාපාරිකයකුට අයත් ගිණුමක ‍ඩොලර් මිලියන 500ට වැඩි මුදලක් ද,එවකට සිටි ලේකම්වරයකු සහ ආයතනයක සභාපතිවරයකු සතු හවුල් ගිණුමක ‍ඩොලර් බිලියන 1.8ක් ද වශයෙන් මෙම තැන්පතු මුදල් අදාළ විදේශ බැංකුවේ පවතින බව ද ඇමැතිවරයා සඳහන් කරයි. 

මෙම මුදල් සම්බන්ධයෙන් සිදු කරමින් පවතින විශ්ලේෂණ කටයුතු මේ වනවිට අවසන් කෙරෙමින් පවතින බවද, ඒ පිළිබඳ සියලු තොරතුරු නොබෝ දිනකින් අනාවරණය කළ හැකි බවද ඔහු පැවසීය.

මෙම ගිණුම්වල මුදල් තැන්පතු සම්බන්ධයෙන් සිදුවූ ඩොලර් හුවමාරු පිළිබඳ විමර්ශනකටයුතු එකින් එක පරීක්ෂා කර බැලීම ඉතා සූක්ෂ්ම අන්දමින් සිදුකළ යුතු නිසාත්, එවැනි පුද්ගලික ගනුදෙනු දිනකට ලක්ෂ ගණනක් සිදුවන නිසාත් අදාළ බැංකුවට මෙම විමර්ශන කටයුතු කඩිනමින් සිදුකිරීම අපහසුවී ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි. 

අදාළ ගිණුම් තුනෙන් එකක් අයත් යැයි පැවසෙන මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් වීමට සූදානම් වන්නේදැයි මෙහිදී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ ඔහු ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, ඔහු සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන නීතිමය කටයුතු හා විමර්ශන නියමිත පරිදි ඉදිරියටත් පැවැත්වෙන බවයි. 

Share on Google Plus