ඉන්දු - ශ්‍රී ලංකා පාලමකට වාසුගේ කැමැත්ත.


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලමක් හෝ බිංගෙයක් ඉදිකර දුම්රිය ගමනාගමන සේවයක් ඇති කළහොත් අනාගතයේදී ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවලට එය පහසුවක් වනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

එවැනි දුම්රිය මාර්ගයක් ඉදිකරන බවට ඉන්දීය ප්‍රවාහන ඇමතිවරයා පවසා තිබෙන පසුබිමක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී විමසීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"ලංකාවයි, ඉන්දියාවයි පාලමකින් සම්බන්ධ කරන්න යෝජනාවක් තිබුණා. පාලමක් නැත්නම් බිංගෙයකින් සම්බන්ධ කරන බවට අලුත්ම යෝජනවක් ගෙනාවා. මේක ඉන්දියාවේ අදහසක් හැටියට ප්‍රකාශ කර තියෙනවා. නමුත් මෙරට අගමැතිවරයා කිව්වා එහෙම එකක් නෑ කියලා. ලංකාවේ අනුදැනුමක් නැතිවද ඉන්දියාව මේ ප්‍රකාශය කළේ කියලා අපට දැනගැනීමට අවශ්‍යයි. මේ ගැන අපි පාර්ලිමේන්තුවේදි අහනවා. නමුත් මගේ ස්ථාවරය මේ රටවල් එකිනෙක යාවෙන එක හොඳයි.

අපේ ගමන් බිමන් වැඩි කරගන්න, පහසු කරගන්න උවමනා නම් කෙලින්ම යන්න කෝච්චියක් දාන්න වෙනවා. එතකොට ගමන් බිමන් පහසුයි. අනාගතයේදී  රටවල් අතරේ ගමන් බිමන් එන්න එන්න වැඩි වෙනවා. හැබැයි ආගමන විගමන නීති තියෙනවා. ඒවා ගොඩබිම තිබුණත්, සමුද්‍ර තීරයේ තිබුණත් නියමානුකූලව ක්‍රියාත්මක විය යුතුයි" යනුවෙන් වාසුදේව මන්ත්‍රීවරයා පැවසුවේය.

Share on Google Plus