වොක්ස්වැගන් ගේන්නේ මහින්ද ගේ අයට රැකියා දෙන්න – අගමැති.


වොක්ස්වැගන් සමාගම ශ්‍රී ලංකාවට එන්න සැලසුම් කළේ 2015 වසරේ නොව ඊට පෙර බවත්, එවර එම ව්‍යාපෘතිය අනුමත කිරීමට ඩොලර් මිලියන 5 ක් ඉල්ලා සිටි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වොක්ස්වැගන් සමාගම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මුලින්ම සිය ප්‍රශ්නය යොමු කළේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා වෙතය. එහිදී ඇති වූ සංවාදය මෙසේය.

උදය ගම්මන්පිල – ඔබතුමන්ගේ ආණ්ඩුව වොක්ස්වැගන් මෙරටට ගේනවා කිව්වේ පසුගිය ජූලි මාසේ. වංචනික, පරිසර දූෂණ සමාගමක් බවට මෙම සාමගම නම්කරල තියෙන බව ඔබතුමන්ලා දැනන් හිටියාද?

මලික් සමරවික්‍රම – ඔව්.

උදය ගම්මන්පිල – මෙම සමාගමේ පසුගිය වසර තුළ ලෝක ඉල්ලුම බරපතළ ලෙස කඩා වැටෙන බවට වාතාවරණයක් ගොඩ නැගී තිබෙන බව ඔබතුමා දන්නවාද?

මලික් සමරවික්‍රම – මම එච්චර දන්නේ නැහැ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ විමසීමට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.

"වොක්ස්වැගන් සමාගම අවේ 2015 නෙමෙයි. ඊට ඉස්සෙල්ලාත් ආවා. ඒ පාර ඇහුවා ඩොලර් මිලියන 5 ක් දෙන්න කියලා මේක අනුමත කරන්න. වොක්ස්වැගන් සමාගම කඩා වැටිලා නැහැ. ඒ සමාගම වැරැද්දක් කරලා තියෙන කොට ජර්මන් රජය ඒකට දඬුවම් කරලා තියෙනවා."

"අපි මේ කර්මාන්ත ශාලාව ගේන්නේ කුරුණෑගලට. ඒක නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අයට රැකියා දෙන්න."


Share on Google Plus