හොකී වලට රට යනවානම් පාසල් දරුවන්ට වෙළඳ දැන්වීම් හොයන්න කියයි. (Video)


දෙසැම්බර් 8 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වෙන 42 වන පෙස්ටා ජාත්‍යන්තර හොකී තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 72 ක් තෝරාගෙන තිබෙනවා.

පාසල් හොකී සංගමය අදාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදී ඇති  ලිපියකින් දැක්වෙන්නේ තරගාවලියට සහභාගී වීමට ගුවන් ටිකට්පත්, ආහාර, නවාතැන්, ප්‍රවාහන සහ නිළ ඇදුම් සඳහා එක් අයෙකුට රුපියල් 76,000 ක වියදමක් දැරීමට සිදුවන බවයි.

තම සංගමයට අදාල වියදම් දැරීමට නොහැකි බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම වියදම් පෞද්ගලිකව සොයාගත යුතු බව එහි පැහැදිලිවම දක්වා තිබෙනවා.

කෙස් වෙතත් 2004 වසරේ අංක 29 දරණ අධ්‍යාපන අමාත්‍යංශ චක්‍ර ලේඛයේ 3.1-4 වගන්තියේ සඳහන් වන්නේ විදෙස් සංචාර සඳහා පාසල් ළමුන්ගෙන් මුදල් අය නොකළ යුතු බවයි.

මේ පිළිබඳ අප කළ විමසීමකදී ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ ලේකම් ශිරෝමන්ත විජේසිංහ  පැවසුවේ මෙහිදී ක්‍රීඩකයන්ගෙන් මුදල් අයකරගන්නවා වෙනුවටල අදාල මුදල සංචාරය සඳහා සකස් කරන සමරු කලාපයකට වෙළඳ දැන්වීම් මඟින් සොයා දෙන ලෙස ඔවුන්ට දැනුම්දී ඇති බවයි.

කෙසේ වෙතත් වෙළඳ දැන්වීම් සොයාදෙන ලෙස පැවසීම වක්‍රාකාරයෙන් මුදල් අය කර ගැනීමක් වන බැවින් එම බරද ක්‍රීඩක ක්‍රීඩිකාවන් මතම පැටවෙන බව පාසල් හොකී සංගමය හිතාමතා අමතක කළා ද යන්න ගැටළුවක්.

විදෙස් තරගාවලි සදහා අනුග්‍රාහකයින් සොයා ගැනීම සෑම පාසල් ක්‍රීඩා සංගමයකම ප්‍රමුඛතම වගකිමක් වනවා.

නමුත් සෑම විටම දක්නට ලැබෙන්නේ එම වගකීම මෙරට පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කර මත පටවා පාසල් ක්‍රීඩා බලධාරින් දෑත් පිසදාගන්නා ආකාරයයි.

එසේ කටයුතු කරන ඔවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පිහිටෙන් නොමිළේම එම විදෙස් තරගාවලි සදහා සහභාගීවීම කෙතරම් ජුගුප්සාජනකදැයි ඔවුන්ටම නොතේරීම විමතියට කරුණක්.

ඉහළ ක්‍රීඩා බලධාරීන් තම ඇස්පනාපිටම සිදුවන මෙවන් අක්‍රමිකතා නොදුටුවා සේ සිටීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හෙට දවස දිනෙන් දිනම වලපල්ලට යාම පමණක් බවයි අපගේ හැඟීම.



Share on Google Plus