බලය පාවිච්චි කර රට හදන්න බැරි නම් බලය අත්හැරදා යන්න මම සූදානම්


"මගේ දේශපාලන ජීවිතය ගත්තොත් බලයේ ඉඳලත් තියෙනවා. බලය නැතිව විපක්‍ෂයේ ඉඳලත් තියෙනවා. මම බලය පාවිච්චි කරන්නේ රට හදන්නයි. පෞද්ගලික න්‍යාය පත්‍ර ඉටුකර ගන්න නොවේ. බලය පාවිච්චි කර රට හදන්න බැරි නම්, බලය අතහැරදා යන්නට මම සූදානම්." "රටේ අනාගතය අනතුරේ හෙළමින්, බලය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණක් මට නැහැ" අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (14දා) සවස විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. බලය ආරක්‍ෂා කර ගැනීම ගැන සිතමින් ජනප්‍රිය තීරණ පමණක් ගැනීමට අප ක්‍රියාකරන්නේ නැහැ. රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු ජනප්‍රිය නොවන තීරණ ගැනීමට අප පසුබට වෙන්නේ නැතැයිද අගමැතිවරයා අවධාරණය කෙළේය.

රජයේ සේවකයන්ට වැඩිකළ රුපියල් දස දහසක වැටුප අදියර තුනකින් මූලික වැටුපට එකතු කිරීමට උත්සාහ කරන බව පැවැසූ අගමැතිවරයා ආරම්භක අදියර වශයෙන් ලබන වසර ආරම්භයේදීම රුපියල් 2,000ක් මූලික වැටුපට එකතු කරන බවද ප්‍රකාශ කළේය.


ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සමන් රත්නප්‍රිය මහතා ඇතුළු නියෝජිතයන් අපෙන් කළ ඉල්ලීමක් මත පසුගිය සෙනසුරාදා සන්ධ්‍යාවේ අප දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූවා. රජය නියෝජනය කරමින් මමත්, මුදල්, රාජ්‍ය පරිපාලන, අධ්‍යාපන ඇමැතිතුමන්ලාත්, විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිතුමාත් ඊට සහභාගි වුණා. වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ කරුණු ගණනාවක් පිළිබඳව අප අවධානය යොමු කළා.
ඒ සාකච්ඡාවෙන් පසු, මම මේ කරුණු පිළිබඳව ජනාධිපතිතුමාටද දැන්වූවා. ඊයේ සමන් රත්නප්‍රිය මහතා සහ ගැමුණු විජේරත්න මහතා සමඟ අප තවත් සාකච්ඡාවක් පැවැත්වූවා.


ඒ සාකච්ඡාවේදී ඔවුන් ඉල්ලා සිටියේ ඉදිරිපත් කළ කරුණු පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි කරන ප්‍රකාශයක් අද සිදු කරන ලෙසයි. අප ඊට එකඟ වුණා. ඒ වගේම ඔවුන් සඳහන් කළ කරුණු සම්බන්ධව සවිස්තරාත්මකව විමසා බැලුවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද මේ ගැන දැන්වූවා. අපේ පක්‍ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති සමඟද සාකච්ඡා කළා. ජාතික සේවක සංගමය හා රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනයේ නියෝජිතයන් සමඟ අදහස් හුවමාරු කර ගත්තා. ඒ වගේම ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමාගේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වෘත්තිය සමිති සමඟත් අප සාකච්ඡා කළා.
අප ජනවාරි 08 වැනිදා විප්ලවය මඟින් අලුත් ගමනකට මුල පිරුවා. අපේ රට පත්වූ තිබූ අගාධයෙන් ඉහළට ඔසවා ශීලාචාර, සංවර්ධිත යහපත් දේශයක් බවට පත්කරලීම ඒ ගමනේ අරමුණයි. මෙය ලෙහෙසි පහසු ගමනක් නෙවෙයි. අසීරු ගමනක්. දුෂ්කර ගමනක්. මෙහිදී අපට මුහුණ දෙන්නට තියෙන්නේ දැවැන්ත අභියෝගයන්ට.
ඒ ගමනේදී අපට අප ගැන සිතනවාට වඩා රට ගැන සිතන්න වෙනවා. රට වෙනුවෙන් යම් යම් කැපවීම් කරන්නට සිදු වෙනවා. අප එසේ කළ යුත්තේ රට යහපත් තත්ත්වයකට ඔසවා තබන්නටයි. රටේ අනාගතය සුරක්‍ෂිත කරන්නටයි. රටේ අනාගත පරපුරේ ආරක්‍ෂාව සලසන්නටයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව අමතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේත්, මා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති සැලසුමේත්, මුදල් ඇමැතිතුමා ඉදිරිපත් කළ අය - වැය කතාවේත් අරමුණ වූයේ එයයි.


අප බලයට පත් වූයේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන්නටයි. රටේ ජනතාව අප වෙතින් බලාපොරොත්තු වන්නේ රටේ අනාගතය වෙනුවෙන් යහපතක් සිදු කිරීමයි. රට වෙනුවෙන් තීරණ ගැනීමේදී අප පළමුවත්, දෙවැනුවත්, තෙවැනුවත් සිතන්නේ රට ගැනයි. රටේ අනාගතය ගැනයි.
එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්ව ජාතික ආණ්ඩුවක් පිහිට වූයේත් රටේ අනාගතය වෙනුවෙන් සාධනීය පියවර ගන්නයි. රටේ මූලික ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නයි. රට හදන්නයි. ජනාධිපතිතුමා සියලු කැපවීම් කරන්නේ ඒ නිසයි.
මගේ දේශපාලන ජීවිතය ගත්තොත් බලයේ ඉඳලත් තියෙනවා. බලය නැතුව විපක්‍ෂයේ ඉඳලත් තියෙනවා. මම බලය පාවිච්චි කරන්නේ රට හදන්නයි. පෞද්ගලික න්‍යාය පත්‍ර ඉටුකර ගන්න නෙවෙයි. බලය පාවිච්චි කර රට හදන්න බැරි නම්, බලය අතහැරදා යන්නට මම සූදානම්. රට බිල්ලට දී, රටේ අනාගතය අනතුරේ හෙළමින්, බලය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණක් මට නැහැ.


ඒ නිසා බලය ආරක්‍ෂා කර ගැනීම ගැන සිතමින් ජනප්‍රිය තීරණ පමණක් ගැනීමට අප ක්‍රියා කරන්නේ නෑ. රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු ජනප්‍රිය නොවන තීරණද ගැනීමට අප පසුබට වෙන්නේ නෑ.
අප ගන්නා සමහර තීරණ වර්තමානයේ ජනප්‍රිය නොවන්නට පුළුවන්. විවේචනයට භාජන වෙන්නට පුළුවන්. නමුත් අනාගතයේ කිසියම් දිනෙක අප ගත් තීරණය නිවැරැදි බව අනාගත පරපුරට කියාවි.


සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල පිළිබඳවත් අප සාකච්ඡා කළා. මා මේ ගරු සභාවට මීට කලින්ද දැනුම් දුන් පරිදි ඒ අරමුදල් දෙක මහ බැංකුව යටතේ වෙන් වෙන්ව පවත්වා ගැනීමට අප ක්‍රියා කරනවා. රාජපක්‍ෂ රෙජීම මේ අරමුදල් අවභාවිත කළා. දේශපාලනික හා පෞද්ගලික අවශ්‍යතාවෙන් වෙනුවෙන් යොදා ගත්තා. අප මේ තත්ත්වය වෙනස් කරනවා. මේ අරමුදල් සියයට සියයක්ම සුරක්‍ෂිත කරනවා. සේවක සේවිකාවන්ගේ මුදල් කොල්ලකෑමට හෝ පිල්ලි ගැසීමට මින් මතු කිසිවකුටත් ඉඩ නොලැබෙන අයුරින් නව කළමනාකරණ ක්‍රමවේදයක් සැකසීම අපගේ බලාපොරොත්තුවයි. මේ ක්‍රමවේදය ගැන අප වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ. අවසන් තීරණයකට එන්නේ ඔවුන්ගේ එකඟත්වය ඇතිවයි.


මේ අරමුදල් වල මුදල් එක්රැස් වී තිබෙනවා. (ජ්භදඤඥඤ ඹ්ඪචඡඪතඪබර), විශ්‍රාම වැටුප් සඳහා එවැනි එක්රැස්වූ අරමුදලක් නැහැ (උදටභදඤඥඤ). ඒ නිසා වසරෙන් වසර අය - වැය මඟින් විශ්‍රාම වැටුප් සඳහා මුදල් වෙන් කළ යුතු වෙනවා. රජයේ සේවකයන් බඳවා ගත යුත්තේ ඔවුන් විශ්‍රාම යන අවස්ථාවේ විශ්‍රාම වැටුප් සඳහා මුදල් වෙන්කිරීමේ හැකියාව තක්සේරු කිරීමෙන් පසුවයි. නමුත් 2005 වසරේ සිට එවැනි කිසිදු සැලැසුමකින් තොරව රජයේ සේවකයන් බඳවා ගෙන තියෙනවා. ඒ අයට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. එය බරපතළ තත්ත්වයක්. අනතුරුදායක තත්ත්වයක්.


ඒ විතරක් නෙවෙයි. 1963 වසර වෙද්දි අපේ රටේ වැඩිහිටි ජනගහන 5.4%යි. 2031 වෙද්දී එය 17.8% දක්වා ඉහළ නැංවෙනවා. 2050 වෙද්දී එය 27.7%යි. ඒ සමඟම ආයු කාලය ද ඉහළ නැංවී තියෙනවා. 1961 වසරේදී අවුරුදු 61.5ක් වූ ආයු කාලය 2011 වෙද්දී 75.3යි. 2050 වෙද්දී එය 81 දක්වා ඉහළ නැංවෙනවා.
වැඩිහිටි ජනගහනය සහ ආයු කාලය වැඩිවීම නිසා විශ්‍රාම වැටුප් ගෙවීම තව තවත් බරපතළ වෙනවා. හැටේ දශකයේ විශ්‍රාමිකයකුට වැටුප් ගෙවිය යුතු සාමාන්‍ය කාලය අවුරුදු 05ක් පමණක් වුවත්, දැන් එය අවුරුදු 15ක් පමණ වී තියෙනවා. 2031 වෙද්දී එය අවුරුදු 18 දක්වා ඉහළ නැංවෙනවා. 2015 වෙද්දී අවුරුදු 20යි.
මේ නිසා විශ්‍රාම වැටුප් සඳහා අය - වැයෙන් වෙන් කළ යුතු මුදල වසරෙන් වසර ඉහළ නැංවෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. 1961 වසරේ මිලියන 83ක් වූ විශ්‍රාම වැටුප් බිල 2011 වෙද්දි මිලියන 99,961යි. 2050 වෙද්දි එය ටි්‍රලියන 4ක් දක්වා ඉහළ නැංවෙනවා.
විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් ඇති වන බව හැටේ දශකයේ සිට මේ දක්වා දූරදර්ශී පාලකයන්ට අවබෝධ වුණා. ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාගේ සිට මේ දක්වා අවස්ථා
කීපයකදීම මේ බව පෙන්වා දී තියෙනවා. නමුත් බලය රැක ගැනීමේ දේශපාලන අරමුණු නිසා ඒ කිසිවක් ක්‍රියාවට නැංවීමට හැකි වුණේ නෑ.


ඇත්තෙන්ම මෙවැනි බරපතළ තත්ත්වකට මුහුණ දෙන්නට අපට ශක්තිය තියෙනවාද? අපට ශක්තිය නැත්නම් සිදු වෙන්නේ කුමක්ද? අනාගතයේ විශ්‍රාම ගන්නා රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට නොහැකි වීමයි. අප රජයේ රැකියා ලබා දෙන තරුණ තරුණියන් අතරමං කරන්න අපට බැහැ. රජයේ සේවකයන් එවැනි අනාරක්ෂිත තත්ත්වයකට පත් කරන්නට අපට දායක වන්නට බැහැ. අප කටයුතු කරන්නේ රජයේ සේවකයන් ආරක්ෂා කරන්නටයි. ඔවුන්ගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත කරන්නටයි.
රාජපක්ෂ රෙජීමය විද්‍යාත්මක පදනමකින් මේ ගැන සොයා බැලුවේ නැහැ. ඔවුන් රාජ්‍ය සේවකයන් බඳවා ගත්තේ දේශපාලන ජනප්‍රියත්වය ලබා ගැනීමේ අවශ්‍යතාව මතයි. නමුත් සැබෑ තත්ත්වය නම් මේ පසුබිම මත 2005 වසරෙන් පසු බඳවා ගත් කිසිම රාජ්‍ය සේවකයෙක් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති බවයි. මේ ගැටලුව ඇතිවන්නේ තව අවුරුදු තිහකින් පමණ නිසා ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ ඒ කාලයේ බලයේ ඉන්න ආණ්ඩුවට නිසා අපට මොකද කියලා පසුගිය ආණ්ඩුව හිතන්න ඇති.


නමුත් ඔවුන් මේ සෙල්ලම් කළේ රාජ්‍ය සේවකයන්ගේ අනාගත සුරක්ෂාව සමඟයි. රජයේ සේවකයන්ගේ විශ්‍රාම ජීවිතය සමඟයි. අවාසනාවකට කිසිම වෘත්තීය සංවිධානයක් මේ ගැන දැනුවත් වී සිටියේ නෑ. අපිටද මේ තොරතුරු අනාවරණය වුණේ බලයට පත්වීමෙන් පසු ඒ ගැන සොයා බලන අවස්ථාවේදීයි. මෙය ඉතා භයානාක තත්ත්වයක්.
අපේ යහපාලන ආණ්ඩුව කිසිවිටෙක ඒ ආකාරයෙන් රාජ්‍ය සේවකයන්ගේ අනාගතය පරදුවට තබා දේශපාලන වාසි ලබා ගන්නේ නෑ. රටේ ජනතාවගේ අනාගතය උකසට තබා ජනප්‍රිය දේශපාලනයේ යෙදෙන්නේ නෑ. අප කටයුතු කරන්නේ තව දශක ගණනාවක් ඉදිරියටත් රටේ ජනතාවගේ අනාගත සුරක්ෂිතතාව තහවුරු කෙරෙන ආකාරයටයි.


රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධව මේ දිනවල විවිධ අය විවිධ ප්‍රචාර ගෙනයනවා. විශ්‍රාම වැටුප් අහෝසි කිරීමක් ගැන කතා කරනවා. නමුත් රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමක් කිසිසේත්ම සිදු නොවන බව මම මේ ගරු සභාවට ප්‍රකාශ කරන්නට කැමැතියි. අප මේ වෙහෙසෙන්නේ රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප සුරක්ෂිතව ලබා දීමට මිස එය අහෝසි කිරීමට නොවෙයි.
මේ නිසයි අරමුදල් සහිත විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් පිළිබඳව අප මේ අය - වැය ලේඛනයෙන් යෝජනා කළේ. අප වෙහෙසෙන්නේ අරමුදල් රහිත ක්‍රමයක් වෙනුවට අරමුදල් සහිත ක්‍රමයක් හඳුන්වා දෙන්නටයි. උදටභදඤඥඤ ක්‍රමයක් වෙනුවට ටභදඤඥඤ ක්‍රමයක්. මෙවැනි ක්‍රමවේදයක් මඟින් රජයේ සේවයට බැඳුණු දිනයේ පටන්ම ඒ ඒ සේවකයා වෙනුවෙන් අරමුදලක් ගොඩ නැංවෙනවා. අප බලාපොරොත්තුවෙන් සිටියේ මේ නව ක්‍රමවේදය පිළිබඳව ලබන ජනවාරියේ වෘත්තිය සමිති සමඟ ගැඹුරෙන් සාකච්ඡා කරන්නයි.


මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළ යුතු කරුණක් තියෙනවා. දැනට පවත්නා විශ්‍රාම වැටුප් ක්‍රමය කිසිසේත්ම වෙනස් වෙන්නේ නෑ. වත්මන් රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. වෙනසක් සිදු කෙරෙන්නේ අලුතින් බඳවා ගන්නා සේවක සේවිකාවන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයයි. එයත් ක්‍රමවේදයේ වෙනසක් පමණයි. විශ්‍රාම වැටුප් අහෝසි කිරීමක් නෙවෙයි.
නව ක්‍රමවේදය සැකැසීම සඳහා අප වෘත්තිය සමිති නියෝජිතයන්ගෙන්ද සමන්විත ඉහළ පෙළේ කමිටුවක් පත් කරනවා. එතැනදී දැනට ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් ක්‍රමය වගේම වෙනත් රටවල ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් ක්‍රම ගැන ඒ කමිටුවට අවධානය යොමු කරන්න පුළුවන්.
පසුගිය සෙනසුරාදා සාකච්ඡාවේදී සමන් රත්නප්‍රිය මහතා නව ක්‍රමවේදයක් යෝජනා කළා. තවත් යෝජනා කීපයක්ම දැනට ඉදිරිපත් වී තියෙනවා. ඒ යෝජනා සියල්ල මේ කමිටුවට ගැඹුරින් සලකා බැලිය හැකියි.


මෙවැනි ආරක්ෂිත ක්‍රමවේදයන් ලෝකයේ නොයෙක් රටවල ක්‍රියාත්මක වෙනවා. සමහර රටවල තමන්ගේ විශ්‍රාම වැටුප ලබා ගන්නා ආකාරය පිළිබඳ තීරණය කිරීමේ හිමිකම් සේවක සේවිකාවන්ට හිමිවෙනවා. සමහරු එකවර මුදල් ලබා ගන්නවා. තවත් සමහරු මාසික වැටුපක් ලෙස ලබා ගන්නවා.
ඒ වගේම ලෝකයේ බොහෝ රටවල දැනට පවත්නා අරමුදල් රහිත සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් කඩා වැටෙමින් තියෙන බවත් අප අමතක කළ යුතු නැහැ. ඊට හොඳම උදාහරණය සපයන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඔවුන්ගේ සමාජ ආරක්ෂණ සහ ආබාධිත භාරකාර අරමුදල දැවැන්ත අර්බුදයකට මුහුණ දී තිබෙනවා. 2034 වෙද්දි මේ අරමුදල අකර්මණ්‍ය වෙන බව එහි භාරකරුවන් දැන් ප්‍රකාශ කර තියෙනවා.
මේ සියලු කරුණු සලකා බලා සේවක සේවිකාවන්ගේ විශ්‍රාම ජීවිතය වඩාත් සුරක්ෂිත කෙරෙන හා ඔවුන්ට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන අයුරින් පමණක් නොව, නවීන ලෝකයට සරිලන අයුරින්ද මේ ක්‍රමවේදය සකස් කිරීම කමිටුවට පැවරෙන වගකීමක්.


කමිටුව විසින් නව ක්‍රමවේදයක් සකස් කළ පසු, ඒ පිළිබඳව සියලු වෘත්තිය සමිති හා සේවක නියෝජිත කණ්ඩායම් සමඟ සාකච්ඡා කර, ඔවුන්ගේද එකඟත්වය ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට අප කටයුතු කරනවා. ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවේ එකඟත්වය ලැබීමෙන් පසුවයි.
ඒ නිසා මේ නව ක්‍රමවේදය පිළිබඳව කවුරුන්වත් අනියත බියක් ඇති කර ගත යුතු නැහැ. අපට අවශ්‍ය රජයේ සේවක සේවිකාවන් ආරක්ෂා කරන්න මිස ඔවුන්ව දුර්වල කරන්න නෙවෙයි. ඔවුන්ව ශක්තිමත් කරන්න මිස අනාථ කරන්න නෙවෙයි. ඒ නිසා යථාර්ථය අවබෝධ කරගෙන, ඊට මුහුණ දිය හැකි පරිදි මේ නව ක්‍රමවේදය සකස් කළ යුතුයි. එය සකස් කිරීමේ ක්‍රියාවලිය වෘත්තිය සමිති නියෝජිතයන්ද හවුල් කරගෙන විවෘත හා විනිවිද පෙනෙන අයුරින් අපි සිදු කරන්නේ ඒ නිසයි.


මේ නව ක්‍රමවේදය ගැන එකඟත්වයකට එළැඹෙන අතරතුරදී අප වත්මන් රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධවද සැලැසුම් සකස් කළ යුතු වෙනවා. විශේෂයෙන්ම 2005 වසරෙන් පසු බඳවා ගත් රජයේ සේවක සේවිකාවන් පිළිබඳව ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සුරක්ෂිත කිරීම අපේ වගකීමක්. අප ඒ වකීමත් ඉෂ්ට කරන බව මම සඳහන් කරන්න කැමැතියි. ඒ සඳහා අවශ්‍ය සංශෝධන හා චක්‍රලේඛ වෙනස් කිරීම් ගැනත් අප අවධානය යොමු කළ යුතුයි.
සංවර්ධන වේගය 8%ක් 9%ක් තත්ත්වයට ඉහළ නැංවීමට අප රටක් වශයෙන් වෙහෙසිය යුතුයි. ඒ මඟින් 2031 වෙද්දී ඉහළ ආදායම් ලබන රාජ්‍යයක තත්ත්වයට පත් වීමට අප සැරැසිය යුතුයි. පුරවැසියන් වශයෙන් අප සියලු දෙනාම ඒ ඉලක්ක සපුරා ගැනීමට ඇප කැපවී කටයුතු කළ යුතුයි. 2005 වසරෙන් පසු බඳවා ගත් රාජ්‍ය සේවක සේවිකාවන්ගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත කරලිය හැක්කේ ඒ මාර්ගයෙනුයි.


එසේ නොමැතිව රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් කප්පාදු නොකරනු කියමින් සටන් පාඨ කිව්වාට ඔවුන්ගේ විශ්‍රාම වැටුප සුරක්ෂිත වෙන්නේ නෑ. ඒ නිසා මේ අවස්ථාවේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන, දූරදර්ශීව රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරන ලෙස මම සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා.
දැනට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන දීමනා මූලික වැටුපට එකතු කිරීම සහ විෂමතා ඉවත් කළ විධිමත් වැටුප් ව්‍යුහයක් කඩිනමින් ස්ථාපිත කිරීම පිළිබඳව අප සාකච්ඡා කළා. අප බලයට පැමිණි විගස රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කළ බව ඔබ දන්නවා. විශ්‍රාම ගන්නා අවස්ථාවේ විශ්‍රාම වැටුප් සකස් කරන්නේ මේ දීමනාව සහිතවයි. ඒ නිසා විශ්‍රාමිකයන්ට අඩුපාඩුවක් වෙන්නේ නෑ. බැංකුණය ලබා ගැනීමේදී මේ දීමනාද සැලකිල්ලට ගත යුතු බව අප බැංකු වෙත දන්වා තිබෙනවා. ඊට අවශ්‍ය චක්‍රලේඛයන්ද නිකුත් කරනවා.


මේ සාකච්ඡාවට සහභාගි වූ බැංකු සේවක සංගම් පැවැසුවේ බැංකුවලට උකස් ගැනීමේ සීමාවන් පැනවීම හා ලීසිං කටයුතුවලින් ඉවත් කිරීම සුදුසු නොවන බවයි. මම මේ පිළිබඳව පසුගිය සතියේ රාජ්‍ය බැංකු ප්‍රධානීන් හා බැංකු ක්ෂේත්‍රයේ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති සමඟත් සාකච්ඡා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සමඟත් සාකච්ඡා කළා. අප බැංකු සේවක සංගම්වලින් ඉල්ලා සිටින්නේ තම තමන්ගේ බැංකුවල සභාපතිවරුන් සමඟ සාකච්ඡා කොට අපට පොදු යෝජනාවක් ඉදිරිපත් කරන ලෙසයි. එවිට අපට පොදු තීරණයක් ක්‍රියාත්මක කරන්නට අවස්ථාව හිමි වෙනවා.


මෙහිදී අවධාරණය කළ යුත්තේ බැංකුවල ආදායම් පහළ වැටෙන ආකාරයේ කිසිදු තීරණයක් අප ක්‍රියාත්මක නොකරන බවයි. බැංකුවලට හානිකර කිසිදු ක්‍රියාවක් අප සිදු කරන්නේ නෑ. අපට අවශ්‍ය මේ බැංකුවල තත්ත්වය තව තවත් ඉහළ නැංවීමටයි. බැංකුවල ආදායම් වැඩි කිරීමටයි. ඒ සම්බන්ධ අතුරු වාර්තාවක් දැනටමත් ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා මහතා අප වෙත ලබාදී ඇති බවත් අගමැතිවරයා අවධාරණය කෙළේය.

Share on Google Plus