රනිල් අය-වැය වෙනස් කරයි - වෘත්තීය සමිති වර්ජනය අත්හරී.



  • කොටස් 3කින් රු.10,000ක් මූලික වැටුපට එකතු වෙයි.
  • විශ්‍රාම වැටුප අහෝසි නොකරන බවට සහතිකයක්.
  • දුම් ගාස්තුව 1500 දක්වා අඩු කරයි.
  • පෞද්ගලික අංශයේ 2500වැඩි කිරීම ලබන වසරේ නීතිගත කෙරේ.
  • 25% වාහන බලපත්‍ර ගාස්තුව 15% කරයි.
  • 15,000 වාහන තක්සේරු ගාස්තුව 5000ක් කරයි.



මුදල් ඇමැති රවි කරුණානායක මහතා නොවැම්බර් 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සිය මංගල අය - වැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අය - වැය යෝජනා කීපයක් සංශෝධනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පියවර ගත්තේය.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් එම සංශෝධන ප්‍රකාශයට පත් කෙළේය.

එම සංශෝධන හා යෝජනා මෙසේයි.

  • රජයේ සේවකයන්ට වැඩිකළ රුපියල් 10,000ක දීමනාව අවස්ථා තුනකදී මූලික වැටුපට එකතු කෙරේ.
  • ඒ අනුව රුපියල් 2,000ක් ලබන ජනවාරි මාසයේ මූලික වැටුපට එකතු කෙරේ.
  • වාහන ආදායම් බලපත්‍ර ගාස්තුව වැඩි කිරීම සියයට 25 සිට සියයට 15 දක්වා පහතට
  • දුම් පරීක්ෂණ සඳහා රුපියල් 1,500ක අන්තර්කාලීන ගාස්තුවක් නියම කෙරේ.
  • රුපියල් 15,000 දක්වා ඉහළ දමා තිබූ කල් බදු සඳහා වාහනයකට අය කරන තක්සේරු ගාස්තුව රුපියල් 5,000 දක්වාත් ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සඳහා එම ගාස්තුව රුපියල් 3,000 දක්වා පහතට
  • ලබන මැයි මාසයේ වන විට පෞද්ගලික අංශයේ සියලුම සේවක සේවිකාවන්ට රුපියල් 2,500ක වැටුප් වැඩිවීමක්
  • 2016 ජනවාරියේ සිට විශ්‍රාම ගන්නා සියලු අයට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමිකම
  • රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමක් කිසිසේත්ම සිදු නොවේ.
  • වත්මන් රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරේ. වෙනසක් සිදු කෙරෙන්නේ අලුතින් බඳවා ගන්නා සේවක සේවිකාවන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයේයි. නව ක්‍රමවේදය සැකසීමට වෘත්තීය සමිති නියෝජිතයන්ද ඇතුළත් ඉහළ පෙළේ කමිටුවක් පත් කෙරේ.
  • දින පහේ සතිය, සේවක සේවිකාවන් ගේ මූලික අයිතීන් හා නිෂ්පාදන ඵලදායිතාවට හානියක් නොවන පරිදි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.
  • පැය අටේ සේවා මුරය වෙනස් කිරීමට කිසිම යෝජනාවක් නැත.
  • බැංකුවල ආදායම් පහළ වැටෙන ආකාරයේ කිසිදු තීරණයක් ක්‍රියාත්මක නොකෙරේ.
  • බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 10ට වඩා වැඩි මුදලක් ආපසු ගැනීමේදී සියයට 2ක බද්දක් අය කිරීමේ තීරණය සංශෝධනය කිරීමට සූදානම්.


මේ අතර ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම වෘත්තීය සමිති එකතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

තම වෘත්තීය සමිති එකමුතුව ඊයේ දහවල් අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් ලැබුණු යහපත් ප්‍රතිචාර හා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් කළ තහවුරු කිරීම් මත මෙම වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළද, විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළැඹීමට අපොහොසත් වූ බවත් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

පුංචි බොරැල්ලේ පිහිටි එම වෘත්තීය සමිති එකමුතුවේ කාර්යාලයේදී ඊයේ සවස මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය. එම එකමුතුවට අයත් බැංකු සේවක සංගමය හැර සෙසු වෘත්තීය සමිතිවල නියෝජිතයන් ඊට සහභාගීව සිටියහ.

කෙසේ වුවද රජය විශ්‍රාම වැටුප අහිමි කිරීමට කටයුතු කළහොත් වහාම වර්ජනය කිරීමේ අයිතිය තබාගෙන මෙම වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවද හෙතෙම පැවැසුවේය.

මේ අතර අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ කළ ප්‍රකාශය පිළිබඳව තමන්ගේ එකඟත්වයක් නොමැති බවත්, ඔහු විසින් ලබාදී ඇති විසඳුම් සම්බන්ධයෙන් තම සංගමය සෑහීමකට පත් නොවන බවත් දුම්රිය සේවක සංගමය ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කරුණු දක්වමින් එහි සභාපති ඩී.එම්.ඩී. අබේරත්න මහතා ප්‍රකාශ කෙළේය.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ඊයේ රාත්‍රියේ ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනයට දුම්රිය ස්ථානාධිපති, නියාමක, දුම්රිය පාලක මැදිරිය ඇතුළුව සියලු අංශ සහභාගි වීමට නියමිතව සිටි නමුත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් තම ඉල්ලීම් සම්බන්ධයෙන් සියයට 50ක පමණ සාධාරණයක් ඉටු වූ බැවින් තම වෘත්තීය සමිති එම වැඩ වර්ජනයෙන් ඉවත් වූ බවද හෙතෙම සඳහන් කෙළේය.

දුම්රිය වෘත්තීය සමිති 30කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ජාතික දුම්රිය සේවා සමිතියේ ලේකම් නිහාල් ගුණරත්න මහතා කීවේ විශ්‍රාම වැටුප හැර අය-වැයෙන් රජයේ සේවකයාට අහිමි වූ අයිතීන් පිළිබඳව සාධාරණය ඉටුවී ඇති නිසා මෙම වර්ජනයෙන් ඉවත් වීමට තම සංගමය තීරණය කළ බවයි.

මේ අතර වැඩ වර්ජනයට සම්බන්ධ වීමට සූදානම්ව තිබූ වෘත්තීය සමිතිවලින් 80%ක් පමණ වැඩ වර්ජනයෙන් තමන් ඉවත් වූ බව දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා වෙත ඊයේ සවස් වන විට දන්වා ඇත. අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය අනුව බස් කර්මාන්තයට අදාළව සැලකිය යුතු සහන ලැබීම නිසා තම සංගමය වර්ජනයෙන් ඉවත් වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.


මේ අනුව දුම්රිය, බස්රිය, හෙද, පරිපූරක සේවා, අතුරු වෛද්‍ය, කළමනාකරණ සේවා ඇතුළු තම වෘත්තීය සමිති එකමුතුවට අයත් සියලු සංගම්වල සාමාජිකයන් සුපුරුදු පරිදි සේවාවල නිරත වනු ඇතැයි සමන් රත්නප්‍රිය මහතා කීවේය.


Share on Google Plus