රනිල් - මෛත්‍රී නායකත්වයෙන් ඉවතට.


එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මෙහෙයුම් කටයුතුවලින් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලීමක් කර ඇත. එම මැතිවරණයේදී ගම් මට්ටමින් පක්ෂයේ මෙහෙයුම් කටයුතු දෙවැනි පෙළ නායකත්වයකට පැවැරීම වඩාත් සුදුසු බව ඔවුන් පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැතිවරණ මෙහෙයුම් කටයුතුවලට ඍජුව මැදිහත්වීම හරහා පක්ෂයේ සාමාජිකත්වය අතර මෙන්ම පාක්ෂිකයන් අතර විවිධ ගැටුම්කාරී තත්ත්වයක් මතුවිය හැකි බවට එම අමාත්‍යවරුන් කරුණු දක්වා ඇති බවද අනාවරණය වෙයි.

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව ගොඩනැඟූ ජාතික ආණ්ඩු සංකල්පයට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැතිවරණ මෙහෙයුම් කටයුතුවලට මැදිහත්වීම අහිතකර ලෙස බලපෑම් කළ හැකි බවද ඔවුන් පෙන්වා දී ඇත.

මේ අතර 'අය - වැය, ආණ්ඩුවේ ගමන් මඟ සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය' මැයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප මන්ත්‍රි කණ්ඩායම වෙනුවෙන් පසුගිය සති අන්තයක බෙන්තොට පැවැති වැඩමුළුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අගමැතිවරයාට මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇත.
එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ පළාත් පාලන මැතිවරණයේදී දෙවැනි පෙළ නායකත්වයකට මෙහෙයුම් කටයුතු භාරදීම පිළිබඳව ජනාධිපතිවරයාගේ හෝ තමන්ගේ විරෝධතාවක් නැති බවය.


Share on Google Plus