අද රෑ සිට වැඩ නෑ - අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්.


පසුගිය 12 වැනිදා සහ 13 වැනිදා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවලදී ඔවුන් කළ ඉල්ලීම් පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි කරන විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (14දා) පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය විශේෂ නිවේදනයකන් නිකුත් කරමින් සඳහන් කරයි. එම සාකච්ඡාවට සහභාගි වූ වෘත්තීය සමිති නායකයන්ගේ ඉල්ලීමකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ ප්‍රකාශය කිරීමට නියමිතය. වත්මන් රජයේ මංගල අය-වැය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයන් හා රජය අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා (12දා) අරලියගහ මන්දිරයේදී පවත්වා ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමැතිවරුන් රැසක් සමඟින් වෘත්තීය සමිති නායකයන් විසින් එහිදී පැය 03ක් තිස්සේ සාකච්ඡා පවත්වනු ලැබීය. වෘත්තීය සමිති නායකයන්ගේ සියලු කරුණු දැක්වීම්වලට අගමැතිවරයා එහිදී හොඳින් ඇහුම්කන් දුන් බව පවසන මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මේ සාකච්ඡාවේදී වෘත්තීය සමිති රැසක නායකයන් සහභාගි වී සිටි බැවින් ඔවුන්ට සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් යම් ස්ථාවරයකට පැමිණීමට නොහැකි වූ බව සඳහන් කෙළේය. ඒ අනුව අද (14දා) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව අගමැතිවරයා විසින් සිදුකරන විශේෂ ප්‍රකාශයෙන් පසුව ඔවුන් යම් එකඟතාවකට පැමිණීමට තීරණය කළ බවද හෙතෙම කීය.

මේ අතර දුම්රිය, පෞද්ගලික බස්රථ හා තැපැල් සේවා අද මධ්‍යම රාත්‍රියේ සිටත් සෞඛ්‍ය, රාජ්‍ය කළමනාකරණ ඇතුළු ඒකාබද්ධ සේවා හෙට පෙ.ව. 8 සිටත් දීපව්‍යාප්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. විවිධ ක්‍ෂේත්‍රවලට අයත් වෘත්තීය සමිති 150කට අධික ප්‍රමාණයක් විසින් මේ වැඩ වර්ජනය මෙහෙයවනු ලබයි. 1901 සිට ක්‍රියාත්මක වන විශ්‍රාම වැටුප කප්පාදු කිරීම රුපියල් 10,000ක දීමනාව මූලික වැටුපට එකතු කිරීම, දින පහේ සතියේ වැඩ දින වෙලාවන් දීර්ඝ කිරීම, අග්‍රහාර රක්‍ෂණයේ ප්‍රතිලාභ අහිමි කිරීම, ඇතුළු වෘත්තීය අයිතිය මෙවර අයවැයෙන් කප්පාදු කිරීමට එරෙහිව මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව පුරවැසි බලය සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවැසුවේය.

තම වෘත්තීය ප්‍රශ්න සම්බන්ධයෙන් පෙරේදා (12දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළද ඊට සෘජු පිළිතුරු නොලැබුණු බවත් අග්‍රාමාත්‍යවරයා කල්මැරීමේ ප්‍රයන්තයක් මඟින් මේ වෘත්තීය ප්‍රශ්නයට ගැසීමට උත්සහ කිරීම නිසා ස්ථිර ලෙසම මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසුවේය.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ සාමූහික සංවිධානයේ කැඳවුම්කරු එස්.ඩී. විතානගේ මහතා පැවැසුවේ මේ වෘත්තීය ප්‍රශ්න පිළිබඳ පුළුල් ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය දැනුවත් කළද ඔවුන් මේ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදැක්වීම නිසා මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

1977ට පසුව ක්‍රියාත්මක කෙරෙන විශාලම වැඩ වර්ජනය මෙය බව පැවැසූ විතානගේ මහතා තැපැල්, දුම්රිය, බැංකු, රජ්‍ය කළමනාකරණ, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සියල්ලම මේ වැඩ වර්ජනයට සහභාගිවීම නිසා. රටේ පරිපාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වන බවත් තවදුරටත් රජය මේ ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ලබන 18 දින මාධ්‍යම රාත්‍රියේ සිට යළිත් දින දෙකක වැඩ වර්ජනයක් ආරම්භ කරන බවත් පැවැසීය.

පසුගිය සෙනසුරාදා මහජන බැංකු මූලස්ථානයේ පැවැති වෘත්තීය සමිති නායකයන්ගේ රැස්වීමේදී මේ තීරණ ගත් බව සමන් රත්නප්‍රිය මහතා කීවේය.

මෙම වර්ජනය නිසා හෙට දිනයේ කොළඹ හා අවට ආයතනවල රැකියාවලට යන දසදහස් ගණනක් ජනතාවටත් එමෙන්ම අ.පො.ස. සා.පෙ. විභාගයට පෙනී සිටිම සඳහා විභාග මධ්‍යස්ථාන කරා යන අති විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකටත් වැඩි හිරිහැරයකට මුහුණ පෑමට සිදුවන බව ජනතාවත් පවසති.

Share on Google Plus