'තාජුඩීන්ගේ අපරාධකරුවන්ගේ' නම් ලැයිස්තුව - ඝාතකයා සැඟවීමේ තැතක්?


වසීම් තාජුඩීන් ඝාතනයේ සම්පූර්ණ වාර්තාව ලබන වසරේ ජනවාරි 20වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරදීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා. 

එම වාර්තාව මගින්  වසීම් තාජුඩීන් ඝාතනයේ අපරාධකරුවන් කවුද යන්න අධිකරණයට දැනුම් දීමට නියමිත බවයි පැවසෙන්නේ. 

මීට සති තුනකට පමණ පෙර අදාළ අපරාධකරුවන් හඳුනාගැනීමට හැකිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. 

ගිනිගෙන දැවෙන රථය ආසන්නයට පැමිණීමෙන් අසල්වැසියන්ව වැළැකූ පුද්ගලයකු  සාක්කිකරුවන් විසින් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි  වාර්තා වන්නේ.

කෙසේ නමුත් තාජුඩීන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවා බවට සැකකෙරෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රියදුරා ලෙස කටයුතු කළ තිස්ස නැමති පුද්ගලයා අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ ප්‍රබලයකුගේ බලපෑම මත කල්දමා ඇති බවට වාර්තා වේ.

මෙම සැකකරු කැප්ටන් තිස්ස, මේජර් තිස්ස, පොඩි තිස්ස ආදී නම් වලින් හඳුන්වන බවත් තාජුඩීන් ඝාතනය ඇතුළු ඝාතන 10කට අධික ප්‍රමාණයකටද, විනිසුරු මංජුල තිලකරත්නට පහර දීම, මර්වින් සිල්වාගේ පුතාට පහර දී පැහැරගෙන යෑම ආදී අපරාධ රැසකට වග කිව යුතු සැකකරුවකු ලෙස හඳුනා ගෙන ඇති බවත් පැවසේ.

අයවැය සම්මත වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ බවට පසුගිය දින වල ආණ්ඩුවේ ඇතැම් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබූ අතර තාජුඩීන් ඝාතනයේ සීසීටීවි දර්ශන මගින් පැහැදිලි තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පැවසේ.

Share on Google Plus