ජනපති එළියට එද්දී... පිස්තෝලකරුවකු මඟ රැක සිටියාද?


වතිකානු සංචාරයෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ ප්‍රභූ පර්යන්තය අසල මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් පාද ආවරණයක සඟවාගෙන පුද්ගලයකු සිටියේ යැයි කියන සිද්ධියක් නිසා කටුනායක ගුවන් තොටුපොළේ ඊයේ දැඩි නොසන්සුන්තාවක් ඇති වූ බව වාර්තා වේ.

මේ ආන්දෝලනයත් සමඟ රේගුව සහ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය අතර ඇතිවූ රාජකාරිමය සිද්ධියක් නිසා ගුවන් ගමන් ඊයේ දහවල් 12 සිට සවස 2 දක්වා පැය දෙකක කාලයක් ඇන හිට තිබූ බව ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරියෙක් පැවැසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමනාකාර දීපාල් පෙරේරා මහතා සඳහන් කෙළේ ඊයේ දහවල් 12ට ලන්ඩනය, සිංගප්පූරුව සහ චෙන්නායි බලා පිටත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා තුනක්ද ලාහෝර් බලා යෑමට නියමිතව තිබූ මිහින් එයාර් ගුවන් යානයක්ද ඊයේ සවස 2 වනතුරු ප්‍රමාද වූ බවයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතාගෙන් විමසූ විට ඔහු කීවේ ගුවන් තොටුපොළේ කිසියම් ආරක්ෂක හේතුවක් මත හදිසි පරීක්ෂාවක් සිදුවිය හැකි බවය.

ගුවන් සේවා අධිකාරියේ කාර්ය භාර නිලධාරියකු පැවැසුවේ ගුවන් යානා කාර්ය මණ්ඩල ගෙන යන බෑග්වල භාණ්ඩ පිළිබඳව රේගු සහතිකයක් ලබා දීමේ සාමාන්‍ය ක්‍රියාවලිය මෙදින රේගුව විසින් ප්‍රමාද කළ බවයි.
රේගුව මෙවැනි ක්‍රියා මාර්ගයක් ගෙන ඇත්තේ රේගු නිලධාරීන්ගේ කෑම පාර්සල් පවා ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් යන්ත්‍ර හරහා දැඩි පරීක්ෂාවට ලක් කරන නිසා යැයිද කියති.

මේ නොසන්සුන්තාවය ගැන ගුවන් තොටුපොළ අධිකාරියේ සභාපති ඇතුළු උසස් නිලධාරීන් ඊයේ සවස් වනතුරුත් දීර්ඝව සාකච්ඡා කරමින් සිටි බවද වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසුවේ ගුවන් තොටුපොළේ පිස්තෝල සිද්ධියක් පොලිසියට වාර්තා වී නැති බවයි.

එවැනි දෙයක් සිදුවිණි නම් සැකකරු පොලිසියට භාර දිය යුතු බවත් එවැනි දෙයක් සිදුවී නොමැති බවද ඔහු පැවැසීය.

මේ අතර ගුවන් තොටුපොළ ආරක්ෂක සේවය නිසි අයුරින් ' රාජකාරි කටයුතු කරනවා දැයි සහතික කරගැනීම සඳහා ආරක්ෂක අංශයේ උසස් නිලධාරියකු විසින් ආරක්ෂක අංශ භටයකු මෙලෙස පිස්තෝලයක් සමඟ යවා ඇති බවටද ගුවන් තොටුපොළේ ආරංචියක් පැතිරෙමින් පැවැතිණි.
ඒ පිළිබඳව ආරක්ෂක අංශ භාර උසස් නිලධාරියකුගෙන් විමසූ විට කීවේ ඊයේ වැනි දිනයක එවැන්නක් සිදු නොවිය යුතුව තිබූ බවයි.

මේ පිස්තෝල සිද්ධියට ප්‍රධාන පෙළේ වෙබ් අඩවි පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබිණි.

Share on Google Plus