මහින්දගේ විපක්ෂයෙන් අලූත් සටන් පෙරමුණක්.


කුරුණෑගල දිස්ති‍්‍රක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වන පාර්ලිමේන්තුවේ එජනිස මන්ත‍්‍රී කණ්ඩායම ලබන වසර ආරම්භයේ දී වත්මන් ආණ්ඩුවට එරෙහිව ප‍්‍රධාන සටන් පාඨ දෙකක් මූලික කරගෙන නව ව්‍යාපාරයක් බිහි කිරීමේ සූදානමකින් පසුවන බව දැන ගැනීමට ඇත.

ඒ අනුව මූලිකව හඳුන්වා දීමට නියමිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කටයුතු කිරීම සිදු වනු ඇත. එම පාර්ශ්වයේ ප‍්‍රධාන තර්කය වී ඇත්තේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව, පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස නම් කිරීම කළ නොහැකි බවය.

දෙවන කරුණ වන්නේ සීපා ගිවිසුමට එරෙහිව වෘත්තිකයන් සංවිධානය කිරීම මඟින් ආණ්ඩුවට එරෙහිව පුළුල් සටන් පෙරමුණක් ගොඩනැගීමය. සීපා (CEPA) ගිවිසුම ගෙන එන්නේ නැති බව අගමැතිවරයා සහතිකයක් දී තිබුණ ද මහින්දවාදී විපක්ෂය පෙන්වා දෙන්නේ සීපා වෙනත් නමකින් ගෙන එන බවය. අගමැතිවරයා පසුගිය සැප්තැම්බර් 23 වන දින පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශ කළේ සීපා වෙනුවට ‘ඉන්දු - ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම’ (Economic and Technology Corparation Agreement- ECTA) අත්සන් කිරීම සඳහා සාකච්ඡා කළ බවය.

ඒ අනුව හෙට එනම් 21 වන සඳුදා දින ජාත්‍යන්තර ආයෝජන පිළිබඳ ඇමැති මලික් සමරවික‍්‍රම මහතා මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා වන මූලික කටයුතු සඳහා සාකච්ඡාවකට ඉන්දියාව බලා පිටත් වීමට නියමිතය. ලබන වසරේ ජුනි මාසයේ දී මෙම ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වේ.

එහෙත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ද මේ වන විට බරපතළ චෝදනා එල්ල වී ඇත. මෙය සීපා ගිවිසුම මෙන්ම ශ‍්‍රී ලංකාවට වඩාත් අවාසිසහගත ගිවිසුමක් බව වෘත්තිකයෝ පෙන්වා දෙති. මේ කරුණ මුල් කරගෙන මහින්දවාදී විපක්ෂය ‘ඒකාබද්ධ වෘත්තීය පෙරමුණ’ නම් සංවිධානය බිහි කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කර ඇත.

ලබන සඳුදා මලික් සමරවික‍්‍රම මහතා ඉන්දියාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කරන කාරණා අතර දෙරටේ වෘත්තිකයන්ට ලැබෙන අවස්ථා පිළිබඳව යෝජිත ලේඛනය අනුව ශ‍්‍රී ලංකාව, ඉන්දියාවෙන් බලාපොරොත්තු වන්නේ අංශ 7ක අවස්ථාය. ඒ අනුව පරිගණක ක්ෂේත‍්‍රයට අදාළ සේවා, වෙනත් ව්‍යාපාරික සේවා (මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නැත), සන්නිවේදන සේවා, මූල්‍ය සේවා (රක්ෂණ හා බැංකු), සෞඛ්‍ය හා සමාජමය සේවා, සංචාරක සේවා, ප‍්‍රවාහන සේවා (නාවික ප‍්‍රවාහන හා ආශ‍්‍රිත ක්ෂේත‍්‍ර) වෙයි.

මේ අතර ඉන්දියාවේ අපේක්ෂා ශ‍්‍රී ලංකාවේ අපේක්ෂාවන්ට වඩා කිහිප ගුණයකින් විශාලය. එහි වෘත්තීය සේවා තුළ, ගණකාධිකාරීවරුන් හා පොත් තබන්නන්, ගොඩනැගිලි සැලසුම් සේවා, ඉංජිනේරු සේවා, නාගරික සැලසුම් හා භූ සැලසුම් සේවා, වෛද්‍ය හා දන්ත වෛද්‍ය සේවා, පශු වෛද්‍ය සේවා, පවුල් සෞඛ්‍ය සේවිකා, හෙද සේවා, භෞත චිකිත්සක සේවා, සම වෛද්‍ය සේවා අඩංගු වේ. ඊට අමතරව පරිගණක සම්බන්ධ අදාළ සේවා, ස්වාභාවික හා සමාජ විද්‍යා පාර්යේෂණ සහ සංවර්ධන සේවා, දේපළ වෙළෙඳාම් සේවා, බදු හා කල් බදු සේවා ද වේ.

වෙනත් ව්‍යාපාරික ක්ෂේත‍්‍ර යටතේ කළමනාකරණ උපදේශක සේවා, තාක්ෂණ පර්යේෂණ සේවා, ධීවර හා සේවාවන් නාවික හා ගුවන් හා අනෙකුත් ප‍්‍රවාහන උපකරණ අලූත්වැඩියාව, ඇසුරුම් සේවා, සම්මේලන සේවා ආදිය අයත් වේ.

එමෙන්ම සන්නිවේදන සේවා, ශ‍්‍රව්‍ය දෘශ්‍ය සේවා, ඉදිකිරීම් හා එම ඉංජිනේරු සේවා, බෙදා හැරීමේ සේවා, තොග වෙළෙඳාම්, අධ්‍යාපන සේවා පාරිසරික සේවා, සෞඛ්‍ය හා සමාජ සේවා, සංචාරක සේවා, නැවත ගොඩනැගීම්, සංස්කෘතික හා කී‍්‍රඩා සේවා, නාවික ප‍්‍රවාහන සේවා ආදී වශයෙන් ප‍්‍රධාන අංශ 16ක් යටතේ මෙරට භාණ්ඩ හා සේවා වෙළෙඳාමක යෙදීමට ඉන්දියාව අපේක්ෂා කරයි.

මේ අනුව ඉන්දියානු කරණවෑමියන්, ත‍්‍රීවීල් රථ රියැදුරන්, බස් රථ රියැදුරන්ගේ සිට දොස්තරවරු, ඉංජිනේරුවරුන් දක්වා සෑම තරාතිරකම වෘත්තිකයන් හා ව්‍යාපාර මෙරටට පැමිණීමට නියමිත බව විපක්ෂ කණ්ඩායම් පෙන්වා දෙයි. මේ තත්ත්වය මත පීඩාවට පත් වන මේ සෑම ක්ෂේත‍්‍රයකම මෙරට වෘත්තිකයන් ස්වයං රැකියාවල යෙදෙන්නන් ඒකරාශී කර දැවැන්ත සටන්කාරී බලවේගයක් ගොඩනැගීම මහින්දවාදී විපක්ෂයේ බලාපොරොත්තුව වී ඇත.

-SathHanda

Share on Google Plus