මහින්ද හමුදාව උසි ගන්වයි.


ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව එල්ල වී ඇති දේශපාලන ඝාතන හා පුද්ගල පැහැරගෙන යාම සම්බන්ධ චෝදනා පදනම් කරගෙන,  වත්මන් ආණ්ඩුවට එරෙහිව ආරක්ෂක අංශ කොටස් කුපිත කර කලබලකාරී සමාජ වටපිටාවක් සැකසීම සඳහා  කුමන්ත‍්‍රණකාරී සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු හෙළි වෙමින් පවතී.

විශේෂයෙන්ම එක්නැළිගොඩ ඝාතන සිදුවීම, රවිරාජ්, පරරාජසිංහම්, තාජුදීන් හා කප්පම් ගැනීම සඳහා සිසුන් පැහැර ගැනීම ආදී සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට යුද හමුදා හා නාවික හමුදා නිලධාරීන් හා සෙබළුන්ට චෝදනා එල්ල වී තිබේ. ඔවුන්ට එරෙහිව  යම් යම් අධිකරණමය කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතී.  

ඉදිරියේ දී හමුදා සාමාජිකයන්ට එරෙහිව අධිකරණ කටයුතු සිදු කෙරෙන දිනවල දී උද්ඝෝෂණ දියත් කිරීමටත් එම කටයුතු කඩාකප්පල් වන ආකාරයේ කලබලකාරී කටයුතු යෙදීමටත් මහින්දවාදීන් සැලසුම් කර තිබේ.

පසුගිය දා එක්නැළිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයට සමගාමීව උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයක් ගෙන තිබිණි.

එමෙන්ම  එක්නැළිගොඩ සිදුවීම හා තාජුදීන් සිදුවීම සම්බන්ධයෙන් ශූර ලෙස කටයුතු කරමින් සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ දිලිප් පීරිස් මහතාට එරෙහිව  උද්ඝෝෂණ මෙහෙයවීම හා ඔහුට එල්ටීටීඊ ලේබල ගසා එම නඩු කටයුත්තෙන් ඉවත් කිරීමේ උත්සාහයක් ද ක‍්‍රියාත්මකව පවතී.

මේ අතර අත්අඩංගුවේ පසු වන හමුදා සාමාජිකයන් ලවා ඔවුන්ට එරෙහිව කටයුතු කළහොත් දිවි නසා ගන්නා බවට අධිකරණයේ දී හෝ  ගෙනෙන අතරමඟ දී ප‍්‍රකාශයට පත් කරවාගෙන මාධ්‍ය හරහා විශාල ප‍්‍රසිද්ධියක් ලබා දී හමුදා කොටස් තුළ කලබලයක් ඇති කිරීම ද මේ සැලසුම් තුළ වෙයි.

පසුගිය දා මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවේ පසු වන හිටපු විනිමය කොමිසමේ සභාපති නාලක ගොඩහේවා මහතාගේ දුක සැප බැලීමට 
බන්ධනාගාරයට ගොස් ආපසු පැමිණි අවස්ථාවේ දී මාධ්‍යට පැවසුවේ තමන් අත්අඩංගුවේ පසු වන හමුදා සෙබළුන් ද හමු වූ බවය. එය අසත්‍යයක් නමුදු මාධ්‍ය ඉදිරියේ දී  ඔවුන්ගේ දේශපාලන වුවමනාවට අවශ්‍ය ලෙස එම ප‍්‍රකාශය සිදු කර ඇත.

මේ අනුව මහින්දවාදීන්ගේ සැලසුම වී ඇත්තේ බොදු බල සේනාව ඇතුළු සිංහල වර්ගවාදී කණ්ඩායම් ‘සිංහ ලේ’ වැනි ව්‍යාපාර හා ඒකාබද්ධව රට තුළ ජාතිවාදී ගිනි අවුළුවා නැවත  බලය අත්පත් කර ගැනීමේ පහසු ක‍්‍රියාමාර්ගයක් වෙත  පිවිසීම බව පෙනෙන්නට තිබේ.

පසුගිය සතියේ දී මේ සියලූ කණ්ඩායම් ජාතිවාදය පදනම් කර ගනිමින් එක විටම ක‍්‍රියාත්මක වීම සිදු විය.

Share on Google Plus