මංගලගේ සල්ලි ටිරාන් ගාව - ගෝඨාට ඔත්තුවකුත් දීලා.


පසුගිය සිකුරාදා (18) විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන්ට පැවැත්වූ වාර්ෂික නත්තල් සාදයට සහභාගි වී ඇති මව්බිම පුවත්පතේ හිමිකරු ටිරාන් ක්‍රිස්ටෝපර් අලස් එම සාදයේ සිදුවූ දෑ අකුරක් නෑර එදිනම රාත්‍රී  හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂට පවසා තිබේ.

සිදුවී ඇති සිද්ධිය සැකවින් මෙසේය.

ටිරාන්ව වහකදුරු ලෙස සිටි මංගල ඔහුගේ වාර්ෂික සාදයට ටිරාන්ට ආරාධනා කර තිබේ. මීට හේතුව වී ඇත්තේ මංගල සමරවීරගේ මුදල් ටිරාන් අලස් සතුව පවතින බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් මීට සහභාගි වී පැමිණ සිටින පුද්ගලයන් පිළිබඳව හොදින් නිරීක්ෂණය කර ඇති ටිරාන් වේලාසනින්ම පිටවී ගොස් ඇත්තේ තමාට තවත් කටයුත්තකට යාමට තිබෙන බව කියාය.

සාදයෙන් පිටව ගොස් ඇති ටිරාන්, ඉන්පසු කෙලින්ම ගොස් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ වාර්ෂිකව සිදුකරනු ලබන පිරිත් පිංකමට සහභාගි වීම සඳහා නුගේගොඩ මිරිහාන ප්‍රදේශයටය. ගෝඨාගේ පිරිත් පිංකම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයින් රැසක් සහභාගි වී සිට ඇත. ඔවුන් අසළට අනාරාධිතවම ගොස් ඇති ටිරාන් ‘මංගලගෙන් බේරිල්ලක් නැති නිසා එයාගේ ක්‍රිස්මස් පාටියට ගියා. දවස තිස්සෙම කෝල් කර කර ඇහුව එනව නේද ? කියල. සර්ලා දන්නෑ ඇවිත් හිටිය සෙට් එක. අර FCID එකේ ලොක්කා රවී වෛද්‍යලංකාරයි ඇඩිෂනල් සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩවයි තමා වැඩිපුරම මංගල එන්ටර්ටේන් කලේ. උන් දෙන්න තමයි සර්ලට අපිට කෙලවන්නෙ' යනුවෙන් සියළු දෙනාටම ඇසෙන ලෙස පවසා ඇත.


‘අර ගෑනි සුනේත්‍රා (සුනේත්‍රා බණ්ඩාරනායක) හොඳටම බීලා වැනි වැනී මෛත්‍රී එක්ක කතා කර කර හිටියා. AGs ඩිපාට්මන්ට් එකේ එවුන් කොහොමද ඇමතිවරුන්ගෙ පාටිවලට යන්නෙ. FCID එකෙන් බාගයක් එතන.  සර් මේවා පාර්ලිමේන්තුවෙ අදින්න' යනුවෙන් ටිරාන් හිටපු ජනාධිපතිවරයාට පවසා තිබේ. ‘හරි මං ඕක හෙටම අදින්නම්' යනුවෙන් ටිරාන්ට පොරොන්දු වී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට පසු දිනයේ එනම් 19 වන සෙනසුරාදා සිය අයවැය කතාවේදී රවී විද්‍යාලංකාර හා යසන්ත කෝදාගොඩ රජයේ ඇමතිවරුන්ගේ සුරතලුන් වී ඇති බවට සිය කථාවේදී චෝදනා කර සිටියේය.

ටිරාන් ක්‍රිස්ටෝපර් අලස් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර හා අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහත්වරුන් සමග මෙසේ පෞද්ගලිකවම අමනාප වී සිටින්නේ ටිරාන්ට එරෙහිව RADA විමර්ශණය සිදුකලේ රවී විද්‍යාලංකාර වීමත් ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ ටිරාන්ට එරෙහිව රජය වෙනුවෙන් පෙනී සිටින්නේ යසන්ත කෝදාගොඩ මහතා වීම යන කාරණා මතය. එම නඩුව ලිඛිත සැලකිරීම් සඳහා ලබන මස නැවත කැඳවීමට නියමිතය.


Share on Google Plus