ගණිකා වෘත්තිය නීතිගත කිරීමත් මහින්දාගමනය වගේද? - හේමප්‍රිය කවිරත්න.


ක්‍රි.පූ. 267දී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා. දේවානම්පිය තිස්ස රජතුමා මිහින්තලයේදී මුණගැහිලා දේශපාලනික උදවු අරගෙන ලංකාවේ බුද්ධාගම ස්ථාපිත කළා. ඒක ශ්‍රී ලාංකේය ආර්ථික, දේශපාලන, සමාජ වෙනසක් ඇති කරන්න ප්‍රබලව හේතු වුණා. අද ගොඩනැඟිලා තියෙන ශිෂ්ටාචාරය නිර්මාණය වුණේ ඒ සුහද හමුවීමත් එක්ක. බුදුදහම කියන්නේ විද්‍යාවත් එක්ක යන දහමක්. බොහෝ ආගම්වලට දෙවියෙක් සිටියදී බුදුහාමුදුරුවො කිව්වෙ මම දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් නෙවෙයි මනුස්සයෙක් කියලා. මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතයක් ගැන කතා කරපු බුදුහාමුදුරුවෝ අපූරු දර්ශනයක් ලෝකයට දායාද කළා. ශ්‍රී ලංකාවේ අපි ඒ දර්ශනය ගත්තේ ආගමක් විදියට මිසක් දර්ශනයක් විදියට නෙවෙයි. ථූපාරාමය ගොඩනැඟුවට පස්සේ ලංකාවේ හැමතැනම චෛත්‍ය හැදුණා. ශ්‍රී මහා බෝධිය ස්ථාපිත කළාට පස්සේ ලංකාවේ හැම තැනම බෝ ගස් පැළ වුණා. පළමු පිළිමය නිර්මාණය වුණාට පස්සේ ලංකාවෙ හන්දියක් හන්දියක් ගාණේ පිළිම හැදුණා. බුද්ධාගම ආධිපත්‍යධාරී ආගම වුණා. මිනිස්සු විතරක් නෙවෙයි පන්සල්වල හාමුදුරුවරුත් ප්‍රතිපත්ති පූජාව පැත්තකින් තියලා ආමිස පූජාව වර්ධනය කළා. අත්හැරීම වෙනුවට අත්පත් කරගැනීම තම අභිප්‍රාය බවට ඇතැම් භික්‍ෂුන් පත්කර ගත්තා. ආගම ඇදහීම සැරසිල්ලක් කරගත්තා. ටොක්කට ටොක්ක මෙන්ම ලෙයට ලෙයද ඇසට ඇස ද ඉල්ලන සමාජයක් නිර්මාණය වුණේ දර්ශනය වෙනුවට ආගම ලොකු කරගත්ත හින්දා. අද ඇතැමුන් අබිං කෑවා වගේ ආගමෙන් මත්වෙලා ආගමට අනුව ජීවත් වෙනවා වෙනුවට ආගම හරහා ජීවත් වන මට්ටමට පත්වෙලා. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට පැමිණීම වරදක් කියලා කියන්නේ නෑ. හැබැයි මිහිඳු හාමුදුරුවන්ගේ අරමුණ නම් ඉෂ්ට වුණාද කියන එක පිළිබඳ සැකයක් තියෙනවා. මොකද බුදු දහම වගේ විද්‍යාවක් මිථ්‍යාවන් මත යැපෙන සමාජයකට එන්නත් කරන්න අමාරු වුණ නිසා.


  • සර්වජන ඡන්ද බලය

වර්ෂ 1931 ඩොනමෝර් කොමිසම ලංකාවට සර්වජන ඡන්දබලය දෙනකොට බි්‍රතාන්‍යයන්ට යටත් කිසිදු යටත් විජිතයක ඡන්ද බලය තිබුණේ නෑ. එංගලන්තෙ කාන්තාවන්ට ඡන්ද බලය හම්බවුණේ 1928දී. ලංකාවේ බිහිවෙච්ච ප්‍රභූ පන්තිය සර්වජන ඡන්ද බලයට විරුද්ධ වුණේ තම ප්‍රභූත්වය ඒ හරහා බිඳවැටිලා මහජනතාවගේ කකුල් දෙක මුල වැටෙන්න සිද්ධ වෙන හින්දා වෙන්න පුළුවන්. ඒ වුණාට ඒගොල්ල ඡන්ද බලයට විරුද්ධව සාධනීය තර්කයක් ගෙනාවා. ඒ ගොල්ලො කිව්වෙ නූගත් සමාජයකට ඡන්ද බලය දෙන්න එපා කියලා. එහෙම වුණෝතින් වඳුරට දැළි පිහිය දුන්නා හා සමාන වෙන්න පුළුවන් කියලත් කිව්වා. මොකද වඳුරට දැළි පිහිය අහුවුණාම අතට අසුවන හැම දේම කපල අන්තිමට තමන්ගෙත් කපාගන්න හින්දා. බර්ගර් ජාතිකයෙක් වෙච්ච ආර්. තම්බිමුත්තු කිව්වෙ නූගත් මිනිහා භයානකයි. නූගත් ගෑනි බෝම භයානකයි කියලා. ලංකාවේ ප්‍රභූන්ගේ විරුද්ධත්වය සලකන්නේ නැතිව ඉංග්‍රීසීන් ඡන්ද බලය දුන්නා. ඡන්ද බලය යටතේ මේ රටේ ජනතාව දේශපාලන වශයෙන් බලවත් වුණ එක වරදක් නෙවෙයි. නමුත් ජනතාව ගත්ත තීන්දුවල වැරැදි තිබුණා. ලංකාවේ නූගත් සමාජය මුල්ම මැතිවරණයේදී උගත් මිනිසුන් පත් කළාට ඊළඟ මැතිවරණයේ ඉඳලම වර්ගය, කුලය, ආගම, ප්‍රදේශය මුල් කරගෙන තීරණ ගත්තා. ඒ හින්දා 1936 මැතිවරණයේදී ලංකාවට නිදහස ලබාගැනීමට කැපවුණු ඊ.ඩබ්ලිව්. පෙරේරා අබෞද්ධයෙක් වූ නිසාත් ගමේ කෙනෙක් වූ නිසාත් හොරණ ආසනයෙන් ඒ.පී. ජයසූරිය මහතාට පරාජය වුණා. එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ විදුලිබල විශේෂඥයෙක් වූ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා කුලවාදය සහ උඩරට පහතරට භේදයේ ප්‍රතිඵලයක් ලෙස රත්නපුරේදී ජයවීර කුරුප්පු මහතාට පැරැදුණා. ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රශ්නය පිළිබඳ ප්‍රගතිශීලී අදහස් පළ කළ ෆොරෙස්ටර් ඔබේසේකර මහත්මයා දෙමළ අයගේ හිතවතෙක් කියලා අවිස්සාවේල්ල ආසනයෙන් ඩී.පී.ආර්. ගුණවර්ධනට පරාජය වුණා.

වර්ගවාදයේ සහ ආගම්වාදයේ අඳුරු සෙවණැලි ලංකාවේ දේශපාලනය තුළ මෑත කාලීනව පවා දක්නට ලැබුණා. උගත්, බුද්ධිමත් දේශපාලනඥයන් වෙනුවට ජනප්‍රිය ආර්ථික බලය සපිරි පුද්ගලයන්ගෙන් පාර්ලිමේන්තුව පිරුණා. ප්‍රතිපත්ති දේශපාලනය වෙනුවට ප්‍රතිරූප වන්දනාමාන කරන දේශපාලනයක් ස්ථාපිත වුණා. පොරොන්දු දේශපාලනය විසින් මිනිසුන්ව ගිලගත්තා. ඩොනමෝර් කොමිසම සර්වජන ඡන්ද බලය හඳුන්වාදීම වරදක් කියල කියන්නේ නෑ. හැබැයි හඳුන්වා දුන්නට පස්සේ ඇතිවෙච්ච ප්‍රතිඵල බොහෝමයක් රටට බලපෑවේ හිතකර විදියට නම් නෙවෙයි. වැරැදි කාලෙක දුන්න නිවැරැදි දෙයක් කියල ඡන්ද බලය ගැන කවුරුහරි කියනව නම් ඒකේ වරදකුත් නෑ.


  • ගණිකා වෘත්තිය නීතිගත කිරීම

ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ ඉතිහාසය මානව ශිෂ්ටාචාරය තරම්ම පැරැණි බව ඇත්ත. බුද්ධ කාලෙත් සිරිමා, අම්බපාලි, විමලා, අඩ්ඩකාසි, ශාලවතී වගේ ගණිකාවො හිටිය කියල අපි අහල තියෙනවා. ලංකාවෙත් මෑත කාලීනව ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි කියලා වෘත්තීය ව්‍යාපාරයක් හඬ නැඟුවා. ඒ ඉල්ලීම්වල යම් සාධාරණයක් තියෙනවා කියලත් එක වෙලාවකට හිතෙනවා. මේ වෘත්තිය නවත්වන්න බැරිනම් විධිමත් කරන්න ඕනි කියලා කවුරුහරි තර්ක කරනව නම් ඒකෙ වරදක් නෑ.

ලංකාවේ ගණිකාව පිළිබඳ ප්‍රබලම හැදෑරීම කරපු නන්දසේන රත්නපාල මහත්මයත් වෘත්තීය විධිමත්භාවය පිළිබඳ කතා කරලා තියෙනවා. හැබැයි අපේ සමාජය බොහෝ දේවල් ගන්නේ කොහොමද කියන එක පිළිබඳ අපි හැමෝම හොඳට දන්නවා. පිටින් එන හැමදේම වැලඳගන්න පුරුදු වෙච්ච අපි ඒවා රටට අනුගත කරද්දි ඇතිවන අහිතකර ප්‍රතිඵල පිළිබඳ ගොඩක් හිතුවේ නෑ. ඒ හින්දා ගොඩනඟන්න බැරි ප්‍රමාණයට බිඳවැටුණු රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාවම අද පත්වෙලා තියෙනවා. අපේ රටේ අද පරම්පරාවේ සමහර තරුණ තරුණියන්ට තියෙන්නේ සරල හීන. ෆෝන් එකක් අරන් ටැබ් එකක් අරන්්, ලැප් එකක් අරන් හොඳ ඇඳුම් පැලඳුම් ඇඳගෙන නූගත්කමයි දුප්පත්කමයි විලාසිතාවලින් වහගන්න ඔවුන් හරි දක්‍ෂයි. එවැනි සමාජයක ගණිකා වෘත්තිය නීතිගත කිරීම මොන විදියට කළත් අහිතකර ප්‍රතිඵල ඇතිවෙන්න ඉඩ තියෙනවා. හැමදේම දේශපාලනීකරණය වෙන රටේ ගණිකා වෘත්තියත් දේශපාලනීකරණය වෙන්න ඉඩ තියෙනවා. අද රටට අහිතකර බොහෝ දේවල් කරන්නේ දේශපාලනඥයන් කියලා ජනතාව හිතනවා. පසුගිය කාලේ පාතාලෙ මෙහෙයෙව්වෙත් කුඩු ගෙන්නුවෙත් එතනෝල් ගෙන්නුවෙත් දේශපාලන මැදිහත්වීම් මත. ඒ හින්දා ලාභ ලබන මේ ව්‍යාපාරයත් අවසානයේදී දේශපාලනඥයන් විසින් මෙහෙයවන්න පුළුවන්. ඒ නිසා ආර්ථික වශයෙන් අසංවර්ධිත සමාජයක, දේශපාලන වශයෙන් නවීකරණය නොවූ සමාජයක, සමාජීය වශයෙන් පසුගාමී සමාජයක ගණිකා වෘත්තිය වැනි දියුණු අයිතීන් සමාජගත කිරීමට පෙර දස දහස් වාරයක් ඒ පිළිබඳ සිතිය යුතුය. කතා කළ යුතුයි. සාකච්ඡා කළ යුතුයි. ඒ සඳහා කල් ගත යුතුයි. ඕනෑම හොඳ දෙයක් වුණත් වැරැදි වෙලාවක දුන්නොත් ඇති වෙන්නෙ වැරැදි ප්‍රතිඵල. මොකද අපිට ලැබුණු දියුණුම දේවල් අපි පාවිච්චි කරලා තියෙන්නෙ වැරැදි විදියට කියලා ඉතිහාසය දිහා බලපුවාම තේරෙනවා. ඒකට හොඳම උදාහරණ දෙක බුදු දහම සහ සර්වජන ඡන්ද බලය.


හේමප්‍රිය කවිරත්න
මව්බිම - යන්ග්

Share on Google Plus