ලංකා හොස්පිට්ල් මූල්‍ය වංචා විමර්ශන අවසන් - අත්අඩංගුවට ගන්න අය මෙන්න.


ලංකා හොස්පිට්ල් ආයතනයේ සිදුවූවා යැයි කියන බරපතළ මූල්‍ය වංචාවක් පිළිබඳ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මූලික විමර්ශන අවසන් කර ඇති අතර ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනකු හා ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් මෙයට සම්බන්ධ යැයි වාර්තා වේ.

ඉහළ පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මේ විමර්ශනයේ වාර්තාවක් නීතිපතිවරයාට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව මේ ගැන ඉදිරි විමර්ශන කටයුතු සිදුකර නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇත.

ලංකා හොස්පිට්ල් ආයතනයේ කොටස් ඉන්දියානු සමාගමකට විකිණීමේදී සිදුවූ වංචාවක් පිළිබඳ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැමිණිලි ලැබී තිබේ. මෙහිදී කොටස් වෙළෙඳ පොළේ මෙයට අදාළව අක්‍රමිකතා සිදුව ඇති බවත්, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනකු සම්බන්ධ බවට තොරතුරු හෙළිව තිබේ.

මේ විමර්ශනය ආරම්භ වූයේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන නියෝමාල් ඇලෙක්සැන්ඩර් පෙරේරා මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකින් පසුවය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොටස් වෙළෙඳ පොළේ 2009 – 2014 කාලය තුළ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන රැසක්ම සිදුකරමින් සිටියේය. පොලිසිය මේ පිළිබඳ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු හා ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරින් කිහිපදෙනෙකුගෙන් කටඋත්තර සටහන් කරගෙන තිබුණි.

මීට අමතරව වෙනත් සිදුවීමකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨිසය සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා අත්අඩංගුවට ගැනීමට යන බවද පොලිස් ආරංචිමාර්ග පවසයි.

ඉහත සඳහන් කාල පරිච්ඡේදයේදී සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපතිත්වය දැරුවේද නාලක ගොඩහේවා මහතාය. ගොඩහේවා මහතා මේ පිළිබඳ ඉදිරි දිනවලදී කටඋත්තරයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨිසය වෙත ලබාදීමට පැමිණෙන බවට ඔහුගේ නීතිඥයන් හරහා පොලිසියට දන්වා ඇත.

මේ විමර්ශනයට අදාළව ධම්මික පෙරේරා හා රොනී ඊබ්‍රාහිම් යන පුද්ගලයන් දෙදෙනා නීතිපති උපදෙස් මත අත්අඩංගුවට ගෙන ඇත. ධම්මික පෙරේරා මහතා 2012 වසරේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කර ඇත. ව්‍යාපාරිකයකු වන ඊබ්‍රාහිම් මහතා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් ආරම්භ කළ කාල්ටන් ක්‍රීඩා සමාජයට සම්බන්ධකම් ඇති පුද්ගලයෙකි.

Share on Google Plus