හිටපු පොල් ඇමතිට දැඩි අවවාද.



හිටපු පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට බරපතල වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම දැඩි ලෙස අවවාද කර තිබෙනවා. ඒ පොල් සංවර්ධන මණ්ඩලයේ සිදුවී ඇති රුපියල් ලක්ෂ 50 කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව සාක්ෂි ලබාදෙන පුද්ගලයන්ට බලපෑම් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ජගත් පුෂ්පකුමාර පොල් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ බිරිඳගේ නමට වැලිකන්ද ප්‍රදේශයේ ඉඩමක පොල් සංවර්ධන මණ්ඩලයේ සම්පත් භාවිතා කරමින් සිදුකළ වගා කටයුත්තක් සම්බන්ධයෙන් බරපතල වංචා සොයන විමර්ශන කොමිසම මෙම විමර්ශනය ආරම්භ කළා. ඊට අදාළව පසුගිය නොවැම්බර් මස 9 වනදා පළමුවෙන්ම ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු පොල් සංවර්ධන අමාත්‍ය ජනාධිපති කොමිසම වෙත කැඳවූ අතර, ඉන් අනතුරුව නොවැම්බර් 27 වනදා හිටපු ඇමති ජගත් පුෂ්පකුමාර ඔහුගේ බිරිඳ මෙන්ම, පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු නිලධාරින් තුන්දෙනෙකු කැඳවනු ලැබුවා. යළි හිටපු පොල් සංවර්ධන අමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවට කැඳවනු ලබන්නේ ඊයේ (30) දිනයේදීයි.

 ඊයේ සාක්ෂි විමසීම සිදුකරන අතරතුර සාක්ෂි ලබාදීමට පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු පවසා ඇත්තේ ආසන්න දිනයකදී හිටපු පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර විසින් තමන්ට සාක්ෂි ලබාදීම පිළිබදව බලපෑම් එල්ල කළ බවයි. පසුව ඒ සම්බන්ධයෙන් සලකා බැලූ බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හිටපු අමාත්‍යවරයාට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

 ඒ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටයි. එම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වාගෙන් විමසීමක් කළ අතර ඔහු ප්‍රකාශ කළේ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් දැඩි දඩුවම් පැමිණවීමට හැකියාවක් ඇති බවයි.

Share on Google Plus