චාවේස්ගේ සමාජවාදී සිහිනය බිඳ වැටේ.


දශක දෙකකට ආසන්න කාලයක් වෙනිසියුලාවේ පාලන බලය හෙබවූ සමාජවාදී පක්ෂයේ ආධිපත්‍ය පෙරලා දමමින් පාර්ලිමේන්තුව තුළ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට එරට විපක්ෂ සන්ධානය සමත් වී තිබේ.

වෙනිසියුලාවේ මහ මැතිවරණයෙන් විපක්ෂ සන්ධානය මේ දක්වා දිනා ගෙන ඇති පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව අනූ නවයකි.

වසර දාසයකට පෙර බලයට පැමිණි සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව හතළිස් හය දක්වා පහත බැස තිබේ.

තවත් ආසන විසි දෙකක මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතය.

වෙනිසියුලාවේ හිටපු නායක හියුගෝ චාවේස්ගේ මූලිකත්වයෙන් 1999 වසරේදී පිහිට වූ වාමාංශික ව්‍යාපාරය ලද දරුණුතම පරාජය මෙයයි.

හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු 2013 වසරේදී ජනාධිපති ධුරයට පත් නිකොලොස් මදුරෝ මැතිවරණ පරාජය භාර ගන්නා බව පැවසීය.

පරාජයට මූලික හේතුව ?
වෙනිසියුලාවේ කරාකස් අගනුවර වැසියන් විපක්ෂයේ ජයග්‍රහණය සමරමින් ප්‍රීති ඝෝෂා කරන බව එහි සිටින බීබීසී වාර්තාකරු වයර් ඩේවීස් කියා සිටියි.

වෙනිසියුලාවේ පවතින ආර්ථික අර්බුදය සමාජවාදී පක්ෂයේ පරාජයට මූලික වශයෙන් හේතු වූ බවත් බීබීසී වාර්තාකරු සඳහන් කළේය.

වෙනිසියුලාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන තෙල් සඳහා අඩු මිලක් පැවතීම එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කොට තිබේ.

‘ආණ්ඩුවට සල්ලි නැහැ. උද්ධමනය සියයට දෙසීයකින් ඉහළ ගිහින්. ආර්ථික වර්ධනය සියයට දහයකින් පහළ ගිහින්. වෙනිසියුලාව වර්තමානයේ මුහුණ දී තිබෙන රෝගී තත්වයන්ට ක්ෂණික ප්‍රතිකර්ම නැහැ. වෙනිසියුලාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජය ලැබූ විපක්ෂ සන්ධානය සහ ජනපතිවරයාට ඒකට එක් වී කටයුතු කරන්න සිද්ධ වෙනවා’ වයර් ඩේවීස් කියා සිටියේය.


  • 'වෙනසක ඇරඹුම'

විපක්ෂ සන්ධානයේ ලේකම් ජීසස් ටොරියාල්බා කරාකස් අගනුවර වීදි බැස ජය සමරන ආධාරකරුවන් අමතමින් කියා සිටියේ වෙනිසියුලාවේ ජනතාව වෙනසක් සඳහා ඡන්දය ප්‍රකාශ කොට ඇති බවයි.

‘භීතියට වඩා බලාපොරොත්තුවේ ප්‍රබල බව ඉස්මතු වූ දවසක්. අපි සතු වඩාත් බලවත් අවියෙන් අපි ජය ගත් බව ඡන්ද අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන මිනිසුන් පවසාවි. වෙනිසියුලාවට වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස ආරම්භ වෙලා තිබෙන්නේ. වෙනිසියුලාවේ ජනතාවට ස්තුතියි. බුද්ධිමත් ජනතාවට ජය වේවා’ ඔහු සඳහන් කළේය.

මධ්‍යස්ත සහ කන්සර්වේටිව් පක්ෂ කීපයකින් සැදුම් ලත් විපක්ෂයේ සන්ධානය පවසන්නේ අවම වශයෙන් ආසන 112 ක්වත් තම සන්ධානය හිමි කර ගන්නා බවයි.


(බිබිසි සංදේශය)

Share on Google Plus