ගීතා හා ජනක අයවැය වර්ජනය කිරීමේ රහස.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීණි ගීතා කුමාරසිංහ මහත්මිය පසු ගිය 02 වන දින පාර්ලිමේන්තුවේ පැවැත්වූ අයවැය ඡන්ද විමසීම සඳහා සහභාගී නොවී ඇත්තේ අයවැයට විපක්ෂව කටයුතු කර මන්ත‍්‍රීධුරය අහෝසි කර ගැනීමෙන් වැළකීමේ උපක‍්‍රමයක් ලෙසින් බව අනාවරණය වේ.

මෙරට නීතිය අනුව ද්විත්ව පුරවැසියන්ට මෙරට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ හැකියාවක් නැත. ස්විට්සර්ලන්තයේ පුරවැසි භාවය හිමි ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව මන්ත‍්‍රීධුරයක් හිමිකර ගත්ත ද එය නීති විරෝධී බව ගාල්ලේ හිටපු මන්ත‍්‍රී පියසේන ගමගේ මහතාගේ හිතවතකු විසින් චෝදනා කර ඇති අතර මේ වන විට එය අධිකරණයේ විභාග වන නඩුවකි.

කුමාරසිංහ මහත්මිය දැඩි මහින්ද හිතවාදිනියක වන අතර පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරයි.

අයවැය ඡන්ද විමසීමේ දී ඒකාබද්ධ විපක්ෂය ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කළේය. මෙහි දී ආණ්ඩුවට එරෙහි වීම තමන්ගේ මන්ත‍්‍රී ධුරය අහිමි වීම කෙරෙහි බලපානු ඇති බවට ඇයගේ දේශපාලන උපදේශකයන්ගෙන් ලැබුණු උපදෙස් නිසා එදින ඇය පාර්ලිමේන්තුව මඟ හැර තිබේ.

ඒ අතර මහින්ද හිතවාදියකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද යවැය ඡන්ද විමසීම සඳහා සහභාගී නොවී ඇත්තේ ඔහුට එරෙහිව විභාගවන මිනීමැරුම් නඩුව සම්බන්ධයෙන් සහනයක් ලබාගැනීමේ අරමුණින් බව පැවසේ

ඒ කෙසේ නමුත් එදින මහින්ද රාජපක්ෂ මහතා ද ඇතුළු තවත් කිහිප දෙනකුම ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලැකී සිටියේය.


Share on Google Plus