අත්අඩංගුවට ගත් නාලක‍ ගොඩහේවා රිමාන්ඩ්.


සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු සභාපතිව සිටි සමයේදී තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද පෙරවරුවේ කැඳවා තිබුණි.

අදාළ  ප්‍රකාශය ගැනීමට නාලක ගොඩහේවා මහතාට පසුගිය පෙරේදා (05) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබුණත් ඔහු එදින නොගොස් අද දක්වා කල් ලබාගෙන තිබුණි.

ඒ අනූව ඔහු අද මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී ප්‍රශ්න කිරීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

අනතුරුව සැකකාර නාලක ගොඩහේවා මහතා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් කෙරිණ.

කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම නි‍යෝගය දුන් බව අප වාර්තාකරු පැවසීය.

සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සිදූවූ මූල්‍ය අක්‍රමිකතාවයකට අදාළව පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ධම්මික මංජිර පෙරේරා සහ වෙනත් ආයතනයක අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාර ප්‍රධානියෙකු බව කියන රොනි ඊබ්‍රහිම් නැමැත්තාද මේ සමග ලබන 14 තෙක් රිමාන්ඩ් කර ඇත.


Share on Google Plus