පළාත් පාලන මැතිවරණය: මත ගැටුම් මැද අගමැති මැතිවරණයට දින දෙයි.


2016 වර්ෂයේ සිංහල අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍යවරයගෙන් කරුණු විමසු අතර ඊට පිළිතුරු ලෙස අගමැතිවරයා මේබව ප්‍රකාශ කළේ ය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසා සිටියේ මාර්තු 31ට පෙර පළාත් පාලන මතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නේද යන්නයි.

“ඡන්ද ක්‍රමය පිළිබඳව තීරණයක් ගන්න සාකච්ඡා කරනවා. අපි පාර්ලිමේන්තුවේ දී තීරණයක් ගනිමු. පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට 25%ක් කාන්තා නියෝජනය ඇතිකළ යුතුයි.

ඡන්ද ක්‍රමය ගැන සාකච්ඡා කෙරෙනවා. ජාතික ලැයිස්තු ක්‍රමයත් තිබෙනවා. මේ පිළිබඳවත් සාකච්ඡා කරමු. මැතිවරණය සිංහල අවුරුද්දට කලින් පැවැත්වීමට වුවමනායි ''යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන කාල වකවානුව සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දෙදෙනෙකු පසුගිය දා පරස්පර අදහස් පළ කළේය. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කැඳවූ මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ මෙම ඡන්ද විමසීම අපේක්ෂා කරන පරිදි මාර්තු මාසයේ පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි. 

කොට්ඨාස සීමා නිර්ණය සම්බන්ධයෙන් පවතින ගැටලු නිසා මෙම ඡන්ද විමසීම කල් යනු ඇතැයි අමාත්‍යවරයා පැවසී ය.  

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට කිසිදු අවශ්‍යතාවක් තවමත් උද්ගත වී නොමැති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසී ය.  

මේ පිළිබඳ අදහස් දක්වමින් කැෆේ සංවිධානය පැවසූවේ සීමා නිර්ණය කටයුතු ප්‍රමාද වන බවට සාවද්‍ය මතයක් ජනතාව අතර ඇති කරමින් ආණ්ඩුවේ එක් කණ්ඩායමක් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට උත්සහ කරන්නේ නම් එය පරාජය කිරීමට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව පෙළ ගැසිය යුතු බවයි.

පළාත් පාලන මැතිවරණයට අදාල සීමා නිර්ණය කටයුතු අවසන් වී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බවට රාජ්‍ය  අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් සිදු කර ඇති ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව කැෆේ සංවිධානය කියයි.  තම සංවිධානය වෙත ලැබී ඇති විශ්වාසනීය තොරතුරු මත මෙම ප්‍රකාශය  අතිශෝක්තියට නගන ලද  ප්‍රකාශයක් බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.  

සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති  අශෝක පිරීස් මහතා සීමා නිර්ණය කටයුතු ජනවාරි 15 වනවිට අවසන් කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව මධ්‍යස්ථානයේ දී  පැවති වැඩමුළුවකදී පැහැදිලි ලෙසම  ප්‍රකාශ කර තිබේ.  ඒ අනුව ජනවාරි 15 වන දින වන විට සීමා නිර්ණය වාර්තාව එළිදැක්විය හැකි බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති  අශෝක පිරීස් මහතා  පවසා තිබේ.

එසේ වුවහොත් අප්‍රේල් 07 වනදාට පෙර මැතිවරණය පැවැත්විය හැකි බව කැෆේ සංවිධානය පවසයි. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් දින 70 කට පසු පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකිය. මැතිවරණ කොමිෂන් සභාව සමග මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පසුගියදා පැවති සාකච්ඡාවේ දී අවධාරණය කරනු ලැබූවේ දී අවශ්‍ය නම් 2016 අප්‍රේල් පළමු සතිය තුල පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවයි. 


Share on Google Plus