ඇවන්ගාඩ් සේනාධිපති රහස් පොලීසියේ.


සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු අමාත්‍යවරුන් දෙදෙනකුට ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබා දී ඇති බවට එහි සභාපති නිශ්ශංක සේනාධිපති විසින් නඟා ඇති චෝදනා සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ආරම්භ කර ඇති පරීක්ෂණයට අදාළව ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ෂංක සේනාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. 

සති කීපයක් තිස්සේ විදේශගතව සිටි ඇවන්ගාඩ් සභාපතිවරයා මේ වන විට දිවයිනට පැමිණ සිටින බවත් ඔහුට අද රහස් පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ඒ අනුව රහස් පොලිසිය දීර්ඝ වශයෙන් අදාළ පැමිණිලි පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කිරීමට නියමිතව ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කෙළේය.

මේ පරීක්ෂණ කඩිනම් කරන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු අනෙක් අමාත්‍යවරුන් දෙදෙනා රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති සහ එහි අධ්‍යක්ෂවරයාගෙන්ද ඉල්ලීමක් කොට තිබිණි.

මේ අතර රක්නා ලංකා සමාගමේ අවි ගනු දෙනුවලට අදාළව ඒ ආශි්‍රත කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට බරපතළ වංචා පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස එම කොමිසම විසින් ලිඛිත දැනුම්දීම් දෙකක් සිදුකර තිබුණ අතර දෙවැනි ලිපිය පසුගිය 03දා නිකුත් කර තිබූ බව ඒ පිළිබඳ කළ විමසීමකදී එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවැසීය.

එම ලිපිවලට ප්‍රති උත්තර වශයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාගේ නීතිඥවරුන් එම කොමිසමට දන්වා තිබුණේ ඔහු ඒ වන විට විදේශගතව සිටින බවයි.

ඉදිරි දින කිහිපයේදී ඔහු යළි බරපතළ වංචා පිළිබඳ ජනාධිපති කොමිසමට කැඳවීමට පියවර ගන්නා බවද ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය.


Share on Google Plus