තාජුදින් :සාක්ෂි වසන් කල අනුර සේනානායක අහවරයි?


රග්බි ක්‍රීඩක වසීම් තාජුදින් මහතාගේ මරණය පිළිබඳ පරීක්ෂණ වලදී සත්‍යය වසන් කළ පොලිස් නිලධාරින් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියම කරයි.

අදාළ පැමිණිල්ල අද (10) කැඳවූ අවස්ථාවේදී තාජුදින්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අධිකරණයට කරුණු දක්වමින් සිද්ධිය වූ අවස්ථාවේ වසීම් තාජුදින් රිය අනතුරකින් මියගිය බවත් ඒ නිසා තවදුරටත් පරීක්ෂණ සිදු කල නොහැකි බවත් එවකට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා තාජුදින්ගේ පියාට දැන්වූ බව ප්‍රකාශ කළේය.

එහෙත් අදාළ මරණය රිය අනතුරකින් සිදු වුවක් නොවන බව අධිකරණ වෛද්‍ය වාර්තාවලින් දැන් අනාවරණය වී ඇති නිසා පරීක්ෂණවලදී සත්‍යය වසන් කල පොලිස් නිලධාරීන් පිළිබඳව පරීක්ෂණ පවත්වන මෙන් පොලිසියට නියමයක් පනවන මෙන් ද ඉල්ලීමක් කෙරිණ.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අනතුරුව රහස් පොලිසියට එම නියෝගය පැනවූ බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී මොහොමඩ් මිෂ්බාක් මහතා ප්‍රකාශ කළේය.


  • ආනන්ද සමරසේකර :

රහස් පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් එහි මුල් මරණ පරීක්ෂණය සිදු කල හිටපු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර ඇතුළු වෛද්‍ය මණ්ඩලය වගකීමකින් තොරව කටයුතු කර ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය බවත් ප්‍රකාශ කළේය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය ආනන්ද සමරසේකර මහතා ඇතුළු වෛද්‍ය මණ්ඩලය පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටත් රහස් පොලිසියටත් නියම කළේය.


  • ආරක්ෂක කැමරාවල දර්ශන :

තවදුරටත් කරුණු දැක්වූ රහස් පොලිසිය පැවසුවේ අදාළ මරණය සිදුවූ අවස්ථාවේ කිරුලපන සහ නාරාහේන්පිට මංසන්ධිවල සවිකර තිබු ආරක්ෂක කැමරාවල දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වන බවයි.

එම දර්ශනවල ගමන් ගන්නා සැක කටයුතු වාහනයක අංකය සහ එහි ගමන් ගන්නා පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අංශය මාර්ගයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් පොලීසිය පැවසුවේය.

ඒ අනුව අදාළ වීඩියෝ දර්ශන පිළිබඳ වාර්තාව අද දින සිට දින 14 ක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරයා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයට නියම කළේය.

වැඩිදුර විමසීම ජනවාරි මස 07 වනදාට කල් තැබිණ.


(බිබිසි සංදේශය)

Share on Google Plus