මහින්දගෙන් හා බැසිල්ගෙන් ඒකාබද්ධ විපක්ෂයට රාත්‍රී භෝජන සංග්‍රහයක්.


හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සොයුරු බැසිල් රෝහණ රාජපක්ෂ ඊයේ (02) රාත්‍රී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට රාත්‍රී භෝජනයක් පිරිනමා ඇති බව වාර්තා වේ. මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කොට ඇත්තේ මහින්ද රාජපක්ෂගේ ඉතා සමීපවන්තයෙකු වන රත්තරන් තිලක් විසිනි.

රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව කතා බහක යෙදී ඇති මහින්ද - බැසිල් ඇතුළු පිරිස වැඩි අවධානයකින් කතා කොට ඇත්තේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ආරාධනා ලැබුවද ඊට නොපැමිණි උදවිය පිළිබඳවයි. ඒ අය අතර ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ හා මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පිළිබඳව පලමුවෙන්ම කතා බහ වී තිබේ.

එහිදී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ ‘ගීතා එන්නැහැයි කියල මට ෆෝන් කරල කිව්වා. කොහෙද අර හාදයා (පියසේන ගමගේ) ඒ ගෑණිට නඩුවක් දාලනෙ ද්විත්ව පුරවැසිභාවය ගැන. ගෑණි දුවා ඇවිදින්නෙ මෛත්‍රීව අල්ලගෙන ඒක ෂේප් කර ගන්න. මෛත්‍රී ගීතට පොරොන්දු වෙලා තියෙනව පියසේන ලොක්කට කියල නඩුව ඉල්ලා අස්කර දෙන්නම් කියල. එහෙම තත්වයක් තියෙද්දි මං ඉන්න තැනකට ආවා කියල ආරංචි වුනොත් මෛත්‍රී ලොක්කා ඕක කරන එකක් නෑ. සෑහෙන කණ්ඩායමක් මෛත්‍රී එක්ක ඉන්නව වගේ පෙන්නුවට මාත් එක්ක යටින් ගණුදෙනු තියෙනව' කියාය.

ගීතාගේ මාතෘකාව යටගොස් ඇත්තේ මනුෂ නානායක්කාර පිළිබඳව ඇදී ආ නිසාය. එවිට මහින්ද රාජපක්ෂ සිනහ වෙමින් කියා ඇත්තේ ‘හා.... පෝ ඕකව විශ්වාස කරන්ඩ එපා. මනූෂ අපේ පැත්තට පැන්නෙ වජිරගෙ (වජිර අබේවර්ධන) පෙත්සමෙන් බේරෙන්ඩ. වජිර ඒ දවස්වල ගාමිණී සෙනරත් එක්ක ඇවිල්ලා මාව හම්බවෙලා වැදල කිව්වා අනේ සර් ඕකව නම් ගන්න එපා කියල. අන්තිමට උනේ වජිර මාත් එක්ක තරහ වුන එක විතරයි. මනූෂයව සත පහකට විශ්වාස කරන්ඩ එපා' යනුවෙනි.

භෝජන සංග්‍රහයට පැමිණ සිටි තවත් මන්ත්‍රීවරයෙක් එම අවස්ථාවේදී බැසිල් රාජපක්ෂගෙන් හා හිටපු ජනාධිපතිවරයාගෙන් අසා ඇත්තේ ‘වියතුන්ගේ හඬ' සංවිධානය පිළිබඳවයි. එම සංවිධානය විහිළුවට ලක් කර ඇති බැසිල් ‘ආ... ඒ සංවිධානය හැදුවෙ මට ගහන්ඩනෙ. මම ඒකට කියන්නෙ වියපත්වූවන්ගේ හඬ කියලා. මොකද ඒකෙ ඉන්න බාගයක් මැන්ටල් පොරවල්. ඕක ඩලස් බැසිල් රාජපක්ෂව එළවා දැමීමේ ඒකායන අරමුණින් හදපු එකක්. ඒ ගොල්ලො දැන් අලුත් තියරි එකක් හදාගෙන. ඒ ගොල්ලන්ගෙ නායකයා විදිහට මහින්ද රාජපක්ෂව බාර ගන්න බැහැලු. සංවිධානයට නායකයෙක් හොයා ගන්නකන් මෛත්‍රී එක්ක සහයෝගයෙන් වැඩ කරමු කියල තමයි ඩලස් යෝජනා කරල තියෙන්නෙ. අන්තිමට ඔය වියපත්වූවන්ගේ හඬ ඉතුරු වෙන්නෙ මෛත්‍රීගෙ ඔඩොක්කුවෙ. ඕව ඩලස්ගෙ සෙවල වැඩ' යනුවෙන් පවසා ඇත්තේ සියළු දෙනාගේ සිනහ හඬ මධ්‍යයේය.

ඒ අතරතුර තවත් ආරාධිතයෙකු මහින්ද රාජපක්ෂගෙන් විමසා ඇත්තේ ‘සර් ...... සර්ව හම්බවෙන්න තිලක් කරුණාරත්න ආවද? ' කියාය. ප්‍රශ්නයෙන් තිගැස්සී ඇති හිටපු ජනාධිපතිවරයා තතනමින් පවසා ඇත්තේ ‘නෑ .. නෑ.. මේ .. අර .. සෙක් එකේ ඉන්න (Security Exchange Commission) රෙනෙල් විජේසිංහ දිගටම මට කතා කරනව බේරෙන්න බෑ. මිනිහ මට කියනව තිලක් කරුණාරත්න යහපාලනේට පලු යන්ඩ බණිනව කියල. මිනිහගෙන් බේරිල්ලක් නෑ තිලක්ට මාව මුණ ගස්සන්න' යනුවෙන් වුවද මහින්ද රාජපක්ෂ මහතා තිලක් කරුණාරත්න තමා හමුවුනාද නැද්ද යන ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරක් දී නැත. ඉන්පසු කිසිවෙක් ඒ පිළිබඳව විමසා නැත්තේ ඔහුව අපහසුතාවයට පත් කිරීමට අකමැති හෙයිනි.

මේ අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාට පවසා ඇත්තේ ‘ඇමතිතුමා, අන්න ඔයාගෙ ගෝලය ප්‍රදීප් ගුණවර්ධන යහපාලන ආණ්ඩුවෙන් ප්‍රමිති කාර්්‍යංශයේ සභාපති කරලා' කියාය. ‘ඒක බොහොම හොඳ දෙයක්. කොහොම හරි කරල අපේ එවුන් එකා දෙන්නා ඇතුළට රිංගවන්න ඕනෙ. එතකොට අපි බලේ ඉන්නව වගේ තමයි' කියමින් බැසිල් පිලිතුරු දී තිබේ.

මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා ලැබූ පිරිසෙන් 13 දෙනෙකු නොපැමිණ සිටි අතර ඔවුන් සියළු දෙනාම මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ තමන් නොපැමිණෙන්නේ ඒ බව මෛත්‍රීපාල සිරිසේන මහතාට දැන ගැනීමට ලැබුනොත් එය අවාසියක් වීමට ඉඩ ඇති නිසා බවයි. පැමිණ සිටි පිරිසට මහින්ද රාජපක්ෂ මහතා අවධාරණයෙන් යුතුව කියා ඇත්තේ ‘මේ ගොල්ලො බයිලා ගැහුවා පෝට් සිටි නවත්වනව කියල. අන්තිමට තටමල තටමල වැඩේ ආපහු කරන්න එකග වුනා. මට චීනෙන් ආරාධනා කරල තියෙනව සංචාරයකට ඇවිත් යන්න එන්න කියල. ඕගොල්ලො බය නැතුව ඉන්න. මම ගිහිල්ල වැඩේ කරගෙන එන්නම්' යනුවෙනි.

-LNW

Share on Google Plus