තාජුඩීන්ව පනපිටින්ම පුළුස්සලා. (සම්පුර්ණ වෛද්‍ය වාර්තාව මෙතැනින්) Update


රග්බි ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් නොව මිනීමැරුමක් බවත් ගිනි ගැනීම මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාලය තුළ සිදුව ඇති බවත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලය අධිකරණය වෙත ඊයේ (03) දැනුම්දී තිබේ.

ඒ, 2012 වසරේ මැයි 17 වනදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී මෝටර් රථයක් තුළ පිලිස්සී මියගොස් සිටි රග්බි ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය පිළිබඳ අවසන් වාර්තාව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කරමිණි. මොහුට පහරදී දුර්වලකොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, විශේෂඥ වෛද්‍ය ජීන් පෙරේරා සහ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ. හේවගේ යන වෛද්‍ය මණ්ඩලය මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණයට හේතුව ගෙළ ප්‍රදේශයට, පපුවට සහ කකුල්වලට සිදුවී ඇති තුවාල හේතුවෙන් ඇති වූ ප්‍රතිවිපාක සහ ඉන්පසු ඇති වූ ගින්නේ ප්‍රතිවිපාක බව වෛද්‍ය මන්ඩලයේ මතය වී ‍තිබේ. ඒ අනුව, ගිනි ගැනීම මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාලය තුළ සිදුව ඇති බවත්, එම වාර්තාවෙන් දැනුම්දී ඇති බව සඳහන්ය.

සිද්ධියට අදාළව අස්ථානගත වී ඇති බව පැවසුණු මොහොමඩ් තාජුඩීන්ගේ අස්ථි සාම්පල් සහ අස්ථි කොටස් සම්බන්ධයෙන් ද වෛද්‍ය මණ්ඩලය තම නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, ප්‍රථම වෛද්‍ය පරීක්ෂනයේ සහ එම එක්ස් - රේ පිටපත්වල ඇතුළත් අධිකරණ වෛද්‍ය විද්‍යාත්මකව වැදගත්කමක් ඇති කලවා අස්ථි දෙකක් සහ පසු අස්ථිය ගොඩගන්නා ලද ශරීර කොටස් සමග නොතිබූ බව වෛද්‍ය මණ්ඩලය සදහන් කර ඇත.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ලබා දුන් සම්පුර්ණ වාර්තාව පහතින් දැක්වෙනවා. 

01. ගොඩගන්නා ලද මළ සිරුරු කොටස්ද ප්‍රථම පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු නිසි ලෙස සාක්‍ෂිදාමය ආරක්‍ෂා කර ගනිමින් අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ රඳවා ගන්නා සාම්පලද මියගිය මොහොමඩ් වසීම් තාජුඩීන් යන අයගේ බව හඳුනා ගන්නා ලදී. එම කරුණු ඩී.එන්.ඒ. පරීක්‍ෂණයෙන්ද මරණයට පෙර හා පසු ගන්නා ලද එක්ස් රේ ඡායාරූප සැසඳීමේදී හා පෙර සිදු කර ඇති ශල්‍ය ප්‍රතිකාර ලක්‍ෂණවලින්ද තහවුරු විය. 

02. ගොඩගන්නා ලද මෘත ශරීර කොටස්වල වියළි අස්ථින් පමණක් අඩංගු විය. මෘදු පටක කොටස් ඇට කැබැලිවල දක්නට නොලැබිණි.

03. ප්‍රථම පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ විස්තර කර ඇති පරිදි හා එහිදී ගන්නා ලද එක්ස් රේ ඡායාරූපවල අප විසින් නිරීක්‍ෂණය කරන ලද කලවා අස්ථිවල භග්නයන් පිහිටා ඇත්තේ අස්ථියේ ඉහළ කොටසේත් පහළ කොටසේත්ය. එසේම එම භග්නයක් තිරස්ව සිදුවී ඇත. මේ ආකාරයෙන් තිරස්ව හා කලවා අස්ථි දෙකේම එකම මට්ටමේ දෙතැනක පිහිටි භග්නයන් අපගේ මතය අනුව, සිදුවූවා යැයි කියන මෝටර් රථ අනතුරේදී සිදුවීමට හැකියාවක් නැත. මෙවැනි භග්නයන් සිදුවිය හැක්කේ කලවයන්ට කිහිප සැරයක් බර මොට ආයුධයකින් පහරදීමෙන් පමණක් බව අපගේ මතයයි. 

04. හිසේ තිබූ දාරිත තුවාලය නිසා හිස් කබල පුපුරා නැතත් මියගිය පුද්ගලයාගේ සිහිය නැති වීමට අවස්ථාවක් ඇත. 

05. වම් කකුලේ දණහිසට පහළ කොටසේ ඇති අස්ථිය දෙකට බිඳී තිබූ අතර, අපගේ මතය අනුව එය සිදුවී ඇත්තේ මෙම ප්‍රදේශයට පහරදීමක් නිසාය. අනතුරට ලක්වූ වාහනයේ ඉදිරිපස රියැදුරු හා ඉදිරිපස රියැදුරු අසුන අතර ඩෑෂ් බෝඩය සම්බන්ධ වන තහඩු හෝ කිසියම් කොටසක් ඇතුළතට නෙරා ඒමක්ද සිදුවී නොතිබුණ නිසා මෙම භග්නයන් රිය අනතුරකින් සිදුවීමට ඇති සම්භාවිතාව ඉතා අඩුය. 

06. පපුවේ හා බෙල්ලේ පහළ කොටස්වල තිබෙන තුවාල පසාරු වූ තුවාල වේ. බෙල්ලේ තුවාලය ශ්වාසනාලය තුළට ඇතුළු වී ඇත. සුක්කානම සවිවන පොල්ලෙන් හෝ එම පොල්ලේ නෙරා ඇති ලීවරයෙන් මේ තුවාල සිදුවිය නොහැකිය. අනතුර සිදුවන අවස්ථාවේදී මේ පොල්ලට සුක්කානමේ රවුම සම්බන්ධ වී ඇති නිසාත්, එම රවුම විනාශ වී ඇත්තේ පසුව ගිනි ගැනීම නිසාත් මේ තුවාල සුක්කානමේ පොල්ලෙන් සිදුවිය නොහැකි බව තවදුරටත් තහවුරු වේ. එය එම ප්‍රමාණය තරම් වූ මොට ආයුධයක් පසාරු වීම නිසා සිදුවිය හැකිය. 

07. බෙල්ලේ පහළ කොටසේ ඇති තුවාලයෙන් දරුණු ලේ ගැල්මක් සිදුවන අතර, එසේම වාතය පපු කුහර හා පරිකන්තුව තුළට කාන්දු වීමක්ද සිදුවිය හැකිය. එය මරණීය තුවාලයක් ද විය හැකිය. නමුත් පිලිස්සුණු මෘත ශරීරයක මෙම ලක්‍ෂණ නිරීක්‍ෂණය කිරීමට නොහැකි වීමට ඉඩ ඇත.

08. සොකො  නිලධාරීන් විසින් ගන්නා ලද හා පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අප හට පෙන්වන ලද ඡායාරූපවල මෙම පිලිස්සී ගිය මෘත දේහය සම්පූර්ණයෙන්ම පිහිටා තිබුණේ ඉදිරි මගී අසුනේය. එසේම එය වම් පස ‍දොර දෙසට හැරී ඇති බව පෙනෙන්නට තිබිණි. පාද සම්පූර්ණයෙන්ම වම් මගී අසුන ඉදිරිපස තිබිණි. අපගේ මතය අනුව මෙම මියගිය පුද්ගලයා මෙම වාහනය පදවා ගෙන යන විට මෙය සිදුවූවා නම්, එම නිරීක්‍ෂණය කළ තුවාලත් සමඟ ඉදිරි මගී අසුන වෙත යෑමට හැකියාවක් නැත. මගී අසුන වෙත සම්පූර්ණයෙන් විසි වීමට ඉඩක් නැත. පාද දෙකම සම්පූර්ණයෙන්ම වම්පස මගී අසුන ඉදිරියෙන් තිබූ ආකාරය අනුව මරණය සිදුවීමෙන් පසු එම මළ සිරුර රියැදුරු අසුනේ සිට ඉදිරි මගී අසුනට සම්පූර්ණයෙන් විසිවී යෑමක් හෝ පෙරළීමක්, අනතුර සිදුවී ඇති වාහනයේ පිහිටීම අනුව සිදුවිය නොහැකි බව අපගේ මතයයි. 

09. මේ සියලු කරුණු අනුව, මිය ගිය පුද්ගලයා මෙම වාහන අනතුර සිදුවන අවස්ථාවේ පදවා නොමැති බවත්, මියගිය පුද්ගලයාට පහරදී දුර්වල කිරීමෙන් පසු සිරුර අනතුර සිදුවන අවස්ථාවේදී හෝ ඊට පෙර වම් මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බව අපගේ මතයයි. 

10. මරණයට හේතුව කකුල්වලට, බෙල්ලට හා පපුවට සිදුවී ඇති බහුවිධ තුවාල නිසා සිදුවී ඇති ප්‍රතිවිපාක හා ඉන්පසු ඇතිවූ ගින්නේ ප්‍රතිවිපාක බව අපගේ මතයයි. ඒ අනුව ගිනි ගැනීම මරණයට ස්වල්ප වෙලාවකට පෙර හෝ මරණය සිදු වෙමින් තිබූ කාල පරාසයේදී සිදුවී ඇති බවට මතයක් පළ කළ හැකිය. 

11. කාබන් මොනොක්සයිඩ්, පරීක්‍ෂා කරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ලබා ගන්නා ලද රුධිර සාම්පලයේ අඩංගු නොවුණද ප්‍රථම පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී කාබන්මොනොක්සයිඩ් රුධිරයේ තිබෙන්නට ඇතැයි සැක කළ හැකි ලක්‍ෂණ තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ. එසේම එම රුධිර සාම්පල ගත්තේ පපු කුහර හා උදර කුහරවලින් බවද සඳහන් වේ. එම රුධිරය ගිනි ගැනීමට පෙර සිදු කර ඇති තුවාල නිසා පපු කුහරය තුළට ගලා ගිය රුධිරය නම්, එහි කාබන්මොනොක්සයිඩ් අඩංගු විය නොහැකිය. 

වෛද්‍ය මණ්ඩලයේ නිරීක්‍ෂණ සහ මතයන් මෙසේය. 

(1) ප්‍රථම පරීක්‍ෂණයේ සහ එම එක්ස්රේවල අධිකරණ වෛද්‍ය විද්‍යාත්මකව විශේෂ වැදගත්කමක් ඇති තුවාල සහ භග්න නිරීක්‍ෂණය කළ කලවා අස්ථි දෙකද, පපු අස්ථිද ගොඩගන්නා ලද ශරීර කොටස් සමඟ නොතිබිණි. 

(2) හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා මෙම අවසන් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ 14 පිටුවේ අවසන් ඡේදයේ මෙසේ පවසා ඇත. "මා විසින් ඉහත අස්ථි සාම්පල අප ආයතනයේ අධි ශීතකරණයේ හෝ මෘත ශරීර බහාලන ශීතකරණයේ තබන ලෙස උපදෙස් දුන්නෙමි." නමුත් මෙම අස්ථි කොටස් හෝ එම අස්ථි නිසිලෙස සාක්‍ෂිදාමය ආරක්‍ෂා කරමින්, ආරක්‍ෂා කිරීමට යොමු කිරීමක සාක්‍ෂි හෝ නිරීක්‍ෂණය කළ නොහැකි විය. 

(3) මෙම ආයතනයේ අනුගමනය කරන ක්‍රමවේදය අනුව එවැනි කොටස් ලේබල් කර, අංක කර ලේඛන ගත කර රසායනාගාරයට භාරදී රසායනාගාර නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ අධිශීතකරණයේ තැබීමට පළමුවැනි පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී සහාය වූ සුළු සේවකයන් දෙදෙනාම කියා සිටියේ ඔවුනට එම අස්ථි කොටස් රඳවා තබා ගැනීම සඳහා එම වෛද්‍යවරු තිදෙනාගෙන් උපදෙසක් නොලැබුණු බවයි. 

(4) අප විසින් ආයතනයේ ඇති සියලු අධි ශීතකරණ හා මෘත ශරීර බහාලන ශීතකරණ පරීක්‍ෂා කළද, එම අස්ථින් සොයාගත නොහැකි විය. 

(5) ඉන්පසු 2015 සැප්තැම්බර් 30 වැනි දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ වෛද්‍ය සමරසේකර මහතාද මෙහි පැමිණියද එම අස්ථින් සොයා ගැනීමට ඔහුටද නොහැකි විය. කෙසේ වුවත් මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ගන්නා ලද සහ සාක්‍ෂිදාමය ආරක්‍ෂා කරමින් ලේඛන ගත කර තිබූ අනෙකුත් සියලු නිදර්ශන නිසි ලෙස ආරක්‍ෂා සහිතව රසායනාගාරයේ තිබිණි. 

(6) ඉහත සඳහන් කරුණු සියල්ල සැලකිල්ලට ගැනීමේදී අපගේ මතය වන්නේ මෙම කලවා අස්ථි දෙක හා පපු අස්ථිය අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනය තුළ රඳවා නොමැති බවයි.



Share on Google Plus