හෝ ගානා පොකුණෙන් ලෝක සිනමාවේ වාර්තාවක්.


එක් පැත්තකින් දිදුලන වැව් තලය සෙමෙන් රැළි නංවන්නේ මේ සොඳුරු ගම්මානයේ වැසියන්ගේ ජීවිතය ගෙවී යන්නේ මේ යැයි පවසන්නාක් මෙනි. වනාන්තරයේ තුරුහිස් අතරින් මුදුන් වන හිරු කිරණ වැදී දිලෙන ජලතලය රිදී පැහැයෙන් බබළයි. ඒ රිදී පැහැය වැව් කණ්ඩිය මතට වැටීම නිසාදෝ නිල්වන් පැහැයෙන් දිලෙන තණගොල්ලේ නිල්පැහැය තවත් වැඩිවී ඇති සෙයකි. මේ වැව් කණ්ඩිය දිගේ පෙළින් පෙළට ඇවිද යන්නේ සුදුපැහැ කොකුන් වැලක සිරිය ගත් ළමුන් සමූහයකි. එක් අයෙකුගේ අත ඇත්තේ එක් පොතකි. තවත් කෙනෙකුගේ අත පොත් කිහිපයකි. මොන මොනවාදේ කතා කරමින් වරෙක රංචු ගැසෙන මේ ළමෝ තවත් වරෙක විසිර යන්නේ එකිනෙකාට සංඥා බසෙන් මොන මොනවාදෝ පවසමිනි. වැව් කණ්ඩිය අවසන් වන්නේ තවත් අතුපාරවල් කිහිපයක ආරම්භයත් සමඟ ය. මේ මං සන්ධිය එක් පසෙක වූයේ සුවිසල් වෘක්ෂයකි.

 මුළු ප්‍රදේශයම වසා පැතිර ඇති වෘක්ෂය ග්‍රාමයේ ඉපැරැණි බව කියාපාන කෞතුක වස්තුවක් වැන්න. ඒ අසලින් දැන් ගමන් කරන්නේ සොදුරු දැරියකි. ඇයගේ අතගත් තවෙකෙකු ඇයට මග පෙන්වන බවක් හැගෙයි. මේ දැරියන් දෙදෙනාගේ සෙමෙන් ගමන නතර වූයේ එක් ශාලාවකිනි. ශාලාවේ තැනින් තැන තබා ඇති මේස, පුටු දැරුවේ දුප්පත්ම දුප්පත් පාසලක සිරියකි. කොළඹින් සැතපුම් ගණනක් එහ ඇති මේ දුෂ්කර පාසලත්, එහි දඟකාර දරු - දැරියන්වත් දකිනු රිසියෙන් එහි පිවිසුණු අපට දක්නට ලැබුණේ අපූරු දසුනකි. ඒ එකිනෙකාට දෙවැනි නොවූ අයුරින් කෑ ගසමින් උඩ පනිනා පාසල් ළමුන් සමූහයයි. ඒ දසුන මට සිහිපත් කළේ මගේ පාසල් කාලයයි.



පාසල අසල වූ සියඹලා ගසේ කරල් බරව තිබුණි. ඒවා අහුලන දැරියක් අප දුටුවනම සිය අසල උන් යෙහෙළිය අල්ලා ගත්තා ය. අප දෙස කෝලබවින් දෙනෙත් යොමුකළ ඔවුන් අසලට පැමිණියේ උපුල්වන් නෙත් යුවළකට හිමිකම් කී දැරිවියකි.

“උපුලී....... ”

මම ඇය හඳුනා ගතිමි. මීට ටික දිනකට පෙර මා ඇය දුටුවේ අන්ධ දැරිවියක ලෙසිනි. ඒ ඔබ හමුවට පැමිණෙන ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ ‘හෝ ගානා පොකුණ’ ළමා චිත්‍රපටයේ දීය. අප සිටියේ පසුගිය කාලයේ ජර්මනියේ ලුකා ළමා චිත්‍රපට උලෙළේදී හොඳම රංගනයට අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ ළමෝ දහඅටදෙනා අතර ය.

අප හා කතාබහ කරන්නට පළමුව එක්වූයේ මේ අන්ධ දැරියයි. ඈ උපුලී ය.

“ මුළු දරුවන් කණ්ඩායමම මෙහෙය වන්නේ ඔබගේ සිහිනය නේද?”

“ ඇත්තටම නැන්දේ ඔව්. සීයා කියාදෙන කතාවක් නිසා උපුලිගේ සිතේ ඇතිවන සිහිනය මගේ සිහිනයක් බවට පත් වෙනවා. අනෙක් අයගේත් සිහිනයක් බවටත් පත් වෙනවා. ඉන්දික මාමා මාව මුලින්ම මේ කණ්ඩායමට තෝරා ගත්තට පස්සේ උපුලිගේ චරිතය කරන්න මහන්සි වෙන්න කියලා මට කිව්වා. ඒ වගේම උපුලිගේ චරිතය මට ලැබුණා. ඒක ගැන මට සතුටුයි. ඉන්දික මාමාගේ උපදෙස්වලට අනුව මම මේ චරිතය රඟපෑවා. උපුලීට හැමෝම පොඩිත්තෝ කැමැති වේවි කියලා මම හිතනවා. මම ඔයාලට ආරාධනා කරනවා මගේ සිහිනය දැන ගන්න ඕන නම් එන්න ‘හෝ ගානා පොකුණ’ නරඹන්න කියලා.”

ඒ ආරාධනයත් සමඟම සැබෑ අංජලී දියණිය තම ජීවිතයේදී ලැබූ අලුත්ම අත්දැකීම පිළිබඳ මා සමඟ පැවසුවේ එලෙසිනි. රංගනයට මෙන්ම ගායනයටත් දක්ෂ දැරියක වන ඇය මේ වනවිටත් දෙරණ ලිටිල් ස්ටාර් තරගයේ සීසන් 4 ගායන අංශයේ දක්ෂතම තරුව ය. රත්නපුර කිරිඇල්ල ග්‍රාමයේ උපන් අංජලී අද වනවිට වාසය කරන්නේ තංගල්ලේ ගෝනදෙණියේයි. ගෝනදෙණිය මහා විද්‍යාලයේ අකුරු කිරීමට යන මේ සුන්දර දැරිය නව වසරේ උගෙනුම ලබන්නේ 8 ශ්‍රේණියේය. ඇගේ සිය සිත්රැඳී අනෙක් සිහිනය වන්නේ ඉංජිනේරුවරියක වීම ය. සිය නැන්දණියගේ සෙවණේ ඇතිදැඩි වෙමින් ඉගෙනීමට දක්ෂ දැරියක ලෙස මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම් ද දක්වන්නී ය. දිගුවේලාවක් ළමයින්ට එක්තැන රැඳීමට නොහැකිය කියන අදහසට පණදුන් ඈ විගස දුව ගියේ සිය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් අතරට පිවිසෙන්නට ය.

මා වටපිට බැලුවේ උක්කු පුතා මේ අසලක පෙනෙන්නට නොසිටි බැවිනි. මේ පාසලේ බොහෝ වැඩවලට පළමු තැන ගන්න උක්කු බුද්ධිමත් දරුවෙකි. ඔහු පියානෝවේ සිටින මකරා සොයන්නට අනෙකුත් ළමෝ සමඟ වෙහෙසන අයුරු මට හොඳහැටි මතක ය.

“මෙහෙමයි නැන්දේ මේ චිත්‍රපටයේ රූගත කිරීම්වලදි අපි හරියට විනෝද වුණා. මැටිහක් ගම කියන්නේ ලස්සන ගම්මානයක්. ඒ ගම තවත් ලස්සන කරන්නේ වැවයි. නිවාඩු ලැබුණු වෙලාවේ අපි නිතරම වගේ නාන්න කැමැති වුණේ වැවෙන්. ඒ වුණත් වැවේ එහාට යන්න ඉන්දික මාමාගෙන් අපට අවසර තිබුණේ නැහැ. වැවේ වතුරට බැස්සට පස්සේ අපේ කකුලට තිත්තයෝ කොටන්න ගත්තා. ඒක නිසා මමත්, යහළුවොත් එකතු වෙලා අපේ සරම්වලට දඟකාර තිත්ත පැටව් අල්ලන්න මහන්සි වුණා. ඒත් ඒක හිතන තරම් පහසු වුණේ නැහැ. ඒ වගේම මට හොඳට ගස් නඟින්නත් පුළුවන්. කරාටේ සූරයෙක් නිසා සමහර වෙලාවට මම යහළුවන්ට නරාටේ පෙන්නන්න ගිහින් අම්මාගෙන් කන ගුටි නම් එමටයි. නවය වසරට පාස්වුණු මම ඉගෙන ගන්නේ මොරටුව වේල්ස් කුමාර විදුහලේ. මගේ නාට්‍ය හා රංග කලා ගුරුතුමා වෙන්නේ තිස්ස ගුණවර්ධනයන්. එතුමාගෙන් රංගනය ගැන අපට විවිධ උපදෙස් ලැබෙනවා. මේ වනවිට මම වේදිකා නාට්‍ය කිහිපයකම රඟපාලා තියෙනවා. රඟපාන ගමන් මගේ සිහිනය පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වීමයි.”

දඟකාර තිෂක්‍ය කියාගෙන ගියේ රඟපාමිනි. මද වෙලාවක් හෝ එකතැන රඳවා ගැනීමට නොහැකි උක්කු දිව්වේ පාසල ළඟම තිබෙන සියඹලා කඩන්නට ය. ඒ සියඹලා කඩන කොලුරෑන අතරට එකතු වී ඊට පොලු ගසන්නට සූදානම් වන කඩිසර උක්කු දෙසින් මා නෙත් ඉවතට ගත්තේ මැටිහක් ගමේ (ග්‍රාමසේවකගේ පුතා) එවැනි ම දඟයකු සමඟ කතාබහේ යෙදෙන්නට ය.

“ රුවන් වගේම ඔයත් පාසල් යන්න කට්ටි පනිනවා ඇති නේද?”

උදය රැස්වීමේ තමන්ට පැවැරුණු කතාව නිසා බොරු ලෙඩක් ගත් රුවන්ගෙන් මම විමසීමි.

“අනේ නැහැ නැන්දේ රුවන් වගේ මම නම් කිසිම දවසක ඉස්කෝලේ යන්න බොරු ලෙඩ ගන්නේ නැහැ. පිළියන්දල ධර්මරාජ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙන ගන්න මට ඉස්කෝලේ හැමෝම ගොඩක් ආදරෙයි. මේ වනවිට වේදිකාවේ වගේම ටෙලි නාට්‍යවලටත් මම රංගනයෙ දායක වෙලා තියෙනවා. සිහිනපුරය, වහින්න මුතු වැස්සක්, කුටුකුටු මාමා, රන්දම්වැල් කියන ටෙලි නාට්‍යවල වගේම මීට ඉස්සෙල්ලා සුමිත් මාමාගේ ‘ස්තූතියි නැවත එන්න’ චිත්‍රපටයෙත් රඟපෑවා. ළඟදීම මම රඟපෑ පුංචි අන්දරේ, කාංචනා චිත්‍රපටත් ඉදිරියේදි තිරගත වේවි. රංගනය කියන දෙය මට නම් ආධුනික නැහැ. ඒ අපිව බලා ගන්න ඩයනා මාගරට් ආත්තම්මා වගේම අයියා කෝකිල පවන් මීට පෙර රඟපාන නිසයි. ඒ නිසා ඉන්දික මාමාගේ උපදෙස් අනුව, ජයනි නැන්දාගෙන් ලැබුණු උපදෙස් අනුව මගේ රංගනය වෙනස් කරගන්න මට පුළුවන් වුණා. මම වැඩිපුරම ආදරය කරන චරිතය තමයි උපුලිගේ චරිතේ. ඒ විතරක් නොවෙයි රූ ගත කිරීම් අතර අමතක නොවන සිදුවීමකුත් වුණා. එක දවසක් අපි වැව ළඟම තියෙන ගල් තලාවේ සෙල්ලම් කර කර හිටියා. දන්නේම නැතිව මගේ කකුල දළ කඩියෙක් කෑවා. ටික වෙලාවකින් කකුලේ සැරව ගෙඩි දැම්මා. අන්තිමට දමින්ද මාමා ඇතුළු කිහිපදෙනෙකුටම මට බෙහෙත් අරගෙන දෙන්නත් සිද්ධ වුණා. ඉදිරියේදි හොඳ නළුවෙක් වෙනඑක මගේ එක හීනයක්. ”




ඩිල්ෂාන් සත්සර පුතාගේ ද හිතේ හීන ගොඩකි. ඒ ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ එක් දඟයෙකි.

“ඇත්ත කිව්වොත් ගුටි කන්න වෙන්නේ නැහැ ”

ලොකු ඉස්කෝලේ ලොකු සර්ගෙන් වේවැල් කසාය ලබන උක්කුගේ තුවාලවල තෙල් ගල්වන වෛද්‍යවරයා මේ සම්මාන ගත් දක්ෂ රංගන ශිල්පීන්ගේ කණ්ඩායමේ ඔබට අමතක නොවන චරිතයකි. ඔහු නෙත්ප්‍රිය මනුභාෂිතයි. දෙල්කඳ ගමේ උපන් නෙත්ප්‍රිය ලුම්බිනි විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නෙකි. ගගනගාමියකු වන්නට පෙරුම් පුරන දඟකාර කොලු පැංචාට කැමරාව නුපුරුදු දෙයක් නොවේ.

“මම තමයි මේ චිත්‍රපටයේ සූකිරිට පණ පොවන්නේ. උක්කුත් එක්ක එකතු වෙලා කරන දඟකාරකම් ගොඩයි. එදා ලොකු සර්ගෙන් ලැබුණ් වේවැල් පාරවල්වලට මම හොඳට උක්කුගේ තෙල් ගෑවා. මේ චරිතය කරන්නට අත දුන්න ඉන්දික මාමා ඇතුළු අනෙක් මාමාලටත් ස්තූතියි. මේ වනවිට මම “වැහිලිහිණියෝ” ටෙලි නාට්‍යයේ රඟපාලා තියෙනවා. ලොකු වුණාම මම ගගනගාමියෙක් වෙන්න වගේම දිගටම රඟපාන්නත් කැමැතියි.”

සූකිරි පිළිතුරු බඳීන්නේ සුරතල් සිනහවක් මුවඟට නංවමිනි.

“ ඉතිං නැන්දේ මාත් එක්ක කතා කරන්නේ නැද්ද?”

එහෙම කියමින් මා අසලට සෙමෙන් සෙමෙන් ළං වන්නේ කණ්ඩායමේ උන්න බොහොම සුරතල් චූටිම දෝණි නවෝදා හංසිනී ය. චිත්‍රපටය රූ ගත කළ මේ මහව ගම්මානය අසල ඇති පොතුවෑපිටියේ උපන් ඇය කට උල් කරමින් මා සමඟ කතාබහට පිවිසියේ සුරතල් වදන් තෙපළන අතරතුර ය.

“මේ චිත්‍රපටය මට දැන ගන්නට ලැබෙන්නේ වලස්වැවේ විදුහල්පතිතුමා නිසා. ඉන්ටර්විව් එකෙන් පාස්වුණාම මට ලොකු සතුටක් දැනුණා නැන්දේ. අපේ ගමේ අය මේ අලුත මාව පිළි ගත්තේ බෑන්ඩ් එකකුත් ගහලා. මම හොඳට රඟපෑවා කියලා ගමේ හැමෝම අය කිව්වා. මම ඉස්කෝලේ ගියේ පොතුවෑපිටිය කනිෂ්ඨ විද්‍යාලයට. මේ පාස් වුණේ 6 පන්තියට නිසා ලබන අවුරුද්දේ මම අලුත් ඉස්කෝලෙකට යනවා. කවදාහරි මම නැටුම් ටීචර් කෙනෙක් වෙනවාමයි.”

චූටි දූ කියන්නේ දැඩි අධිෂ්ඨානය පෙරදැරිව ය. හේනේ, කුඹුරේ දුවපැන නටමින් ගෙවෙන ඔවුන්ගේ ජීවිත පිටට පෙනෙන තරම් සුන්දර නොවන වග වටහා ගන්නට වැඩි කාලයක් ගත නොවේ. එහි වසන  ගැමියෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියන් ය.

මේ ගැමි සුවඳ හමන ගම්මානයේ රූගත කළ ‘හෝ ගානා පොකුණ’ සුන්දර කරන්නට රංගනයෙන් එක් වූ තවත් දරුවෙකු වන්නේ සෙතික දිශස් ය.

“මට මොකටද ලයිසන්. මේ ගමේ බස් එක එලවන්න ලයිසන් ගන්න ඕන යෑ ”

හිච්චිගේ අප්පච්චි ජස්ටින් පවසන්නේ ගැමියන්ගේ කියුමකි. මේ හිතුවක්කාර පියාගේ පුතු හිච්චි ද සිය පියාව උනන්දු කරන්නේ කවදාවත්ම නොදැක්ක සිහිනයක් වෙත දුව යන්නට ය.

“මගේ ගම රත්නපුරේ. රත්නපුරේ ෆර්ගියුසන් ඉස්කෝලේ සිටිය කාලයේයි මම මේ චිත්‍රපටයේ රඟපාන්නේ. දැන් නම් අපේ පදිංචිය හෝමාගමයි. මම දැන් ඉස්කෝලේ යන්නේ ධර්මාශෝක විද්‍යාලයටයි. මගේ අලුත්ම පන්තිය 6 ශ්‍රේණියයි. මා ගැන ඉන්දික මාමාට කියන්නේ ජයලත් මනෝරත්න මාමායි. ඒ ජයලත් මාමාගේ ‘තාත්තේ අපි ආවා’ ටෙලි නාට්‍යයේ මා කළ රඟපෑමෙන් දැක්ක මගේ දක්ෂකම නිසා මට මේ අවස්ථාව ලැබුණා. ඇවිත් අපේ චිත්‍රපටය බලන්න. අපි ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.”

යැයි පවසමින් සෙතික ඔහුගේ වයසේ සිටින පුංචි හැමෝටම චිත්‍රපටය නරඹන්න අවිහිංසක ආරාධනාවක් කරයි.

“ මම කවදහරි ඉගෙන ගෙන ඉංජිනේරුවෙක් වෙනවා.”

අවසන් වතාවට මා හා කතාබහ අවසන් කරමින් කියා සිටින්නේ මේ චූටි පුතුගේ සිතේ රැඳුණු තවත් එක් සිහිනයක් පිළිබඳ ය. ඊළඟට කලකට පසුව හමු වූ යහළුවන් අතර දුව පනින විනුමි වන්සදි දියණිය හා කතාබහ ආරම්භ කළේ ඉක්මනිනි.

“අපේ පාසලේ නාට්‍ය හා රංග කලා අංශයේ ඉන්න චතුරාණි ටීචර් තමයි මට මේ චිත්‍රපටය ගැන කියන්නේ. ඒ සඳහා තිබුණු ඉන්ටර්විව් එකෙන් පාස් වුණාට පස්සේ මට ගොඩක් සතුටු හිතුණා. දිගටම මම හොඳ නිර්මාණ ලැබුණොත් රඟපානවා. සිරස කිඩ් ෆස්ට් එකේ නිවේදිකාවක් විදියටත් දිගු කාලයක පටන් ඉන්නවා. අනෙක් කලා කටයුතුවලත් නියැළෙන ගමන් මගේ ඉලක්කය වෛද්‍යවරියක් වීමයි. ”

එසේ පවසමින් ඇය දුව යන්නේ සිය මිතුරන් වෙත ය. කිරිබත්ගොඩ විහාර මහාදේවි විද්‍යාලයේ ශිෂ්‍යයාවක වන මේ දැරිය 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නී ය. නිහංසා දිසානායක ද පවසන්නේ ඇගේ අනාගත පැතුම වෛද්‍යවරියක වීම බව ය. මත්තේගොඩ ප්‍රදේශයේ ජීවත් වන මේ දියණියගේ පියා රංගන ශිල්පියෙකු වන සංජීව දිසානායකයි. අනුලා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඈ ගායනයට ද හපනියකි.

“මම රඟපෑවේ අමා ආන්ටිගේ දුව විදියටයි. මම කළ රංගනය වඩාත් හොඳ රංගනයක් කරගන්න අමා ආන්ටිගේ අදහස් මට වැදගත් වුණා. රූගත කිරීම් අවසන් වුණාට පස්සේ අපි හැමෝම සෙල්ලම් කළා. ඒ වගේ දවසක අපේ කාමරේ හිටිය ටිකදෙනා සින්දු කිය කියා නැටුවා. අවසානයේ නැටුම කොයිතරම් වැඩි වුණාද කිව්වොත් නිදා ගන්න ඇඳේ පොල්ලකුත් කඩාගෙන අපිව බිමට වැටුණා.”

නිහංසාගේ උවනට සිනහවක් නැඟෙන්නේ ඒ අපූරු සිදුවීම සිහිපත් වීම නිසා ය. අමල්ගේ චරිතය රඟපෑ සෙනෙත් පුතු අධ්‍යක්ෂවරයකු වන ලක්ෂමන් පුෂ්පකුමාරගේ පුත්‍රයා යි. ඔහුගේ අනාගත පැතුම ගොනු වී තිබෙන්නේ රංගන ශිල්පියෙකු වීමට ය. මීට පෙර ද ඔහු හිරු දහසක් යට, නිසල විල්තෙර, සඳ කිඳුරි ආදී නිර්මාණ රැසක් සඳහාම රංගනයේ යෙදුණේ ය.




“ වසන්ති රන්වල ඇන්ටියි මට මේ චිත්‍රපටය ගැන කියන්නේ. මම මට උපරිමයෙන් මගේ චරිතය කළා. මගේ රඟපෑම ගැන තාත්තාත් අගය කළා. මට මේ චිත්‍රපටය අමතක නොවෙන්නේ හදිසියේම උණ වැලඳීම නිසා රෝහල් ගත වෙන්න සිදුවීම නිසයි.”

කේරි කොලේජ් එකේ 11 ශ්‍රේණියේ ඉගෙන ගන්නා ඔහුගෙන් පසු අප හමු වන්නේ තුවාන් විනෝද් පුතුයි.අංජනගේ චරිතයට පණ පොවන ඔහු මෙවර අ.පො.ස. සා.ළෙ විභාගයට පෙනී සිටියි. සැහැල්ලුවෙන් සිටින මේ පුතු දුටු අපට හැඟුණේ ඒ සඳහා පෙර සූදානම කොතරම් වැදගත් ද යන්න ය. ඕකේඅයි ඉන්ටර් නැෂනල් පාසලේ ඉගෙන ගන්නා විනෝද් දඟකාරයන් අතර දඟකාරයෙකි.

මේ ‘හෝ ගානා පොකුණ කණ්ඩායමේ එක් සාමාජිකයෙකු වූ උදාර ද අකුරු කරන්නේ මොරටුව වේල්ස් කුමර විදුහලේ 10 ශ්‍රේණියේ ය. උදාර මීට පෙර රඟපා ඇත්තේ ‘අලි සුරතල්’ චිත්‍රපටයේයි. මේ වනවිට ටෙලි නාට්‍ය කිහිපයකද රඟපා ඇති ඔහුගේ අනාගත ප්‍රාර්ථනය නළුවෙක් වීමයි. හඟුරන්කෙත තරම් ඈතක සිට හෝ ගානා පොකුණට රංගනයෙන් සහභාගි වන විශ්මි චමෝදි දියණිය වික්ටෝරියා ජාතික පාසලේ 8 ශ්‍රේණියේ ශිෂ්‍යයාවකි. ඇය රංගනයෙන් සහභාගි වූ ‘පියස’ ටෙලි නාට්‍යය මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙයි.

“ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉන්න අයත් සමඟ රඟපාන්න ලැබුණ එක ගැන සතුටුයි”

විශ්මි පවසන්නී ය. වාසනා නිරංජලී ‘හෝ ගානා පොකුණ’ට රංගනයෙන් සහභාගි වන්නේ කැන්ඳගොල්ලේ සිට ය. මැණිකේගේ චරිතයට පණ පොවන ඇය ඉගෙන ගන්නේ කිරිඳීවැල මධ්‍ය මහා විද්‍යලයේ 10 ශ්‍රේණියේයි. ඇය නර්තනයට බෙහෙවින් කැමැත්තක් දක්වන්නියකි. නැටුම් ගුරුවරියක වීම ඇගේ ද අරමුණ ය.

‘හෝ ගානා පොකුණ’ හැඩවැඩ කරන මේ පොඩිත්තිය මලීෂා ය. ඇය රූගත කිරීම්වලදී කාටත් හොරෙන් අයියලා පොලු ගැසූ සියඹලා ඇහින්ද අපූරුව සිහිපත් කරන්නේ ඒ අසල ඇති සියඹලා ගස දෙස බලමිනි. හලාවත - මාරවිල 7ශ්‍රේණියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ මේ සිඟිති දියණිය අධ්‍යාපනය හදාරන්නේ වෛද්‍යවරියක වීමේ සිහිනය දකිමිනි. දේශාන් චාමරත්, නෙස්ටා මානෙත් පොඩිත්තන් දෙදෙනා කඩු සටනක ය. ඒ කටයුත්ත නැවැත්තීමට සිත ඉඩ නොදෙන අයුරකි. කඩු සටනේ යෙදෙමින්ම ඔවුහු මා හා කතාබහ කළහ. වෛද්‍යවරු වීමේ සිහිනය සිත්රැඳී මේ දෙදෙනාගෙන් දේශාන් අත්තනගල්ල ඌරපළ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ අකුරු කරයි. ස්වර්ණවාහිනියේ යකඩ කහවණු ටෙලි සිත්තමේ මේ දිනවල රඟන මානෙත් කළුතර විද්‍යාලයේ ශිෂ්‍ය යෙකි. බිනරමලී, වරාමලී ඇතුළු ටෙලි සිත්තම් රැසකම රඟපෑ මේ කොලු පංචා සිය ගමේ ජනප්‍රිය තරුවකි. මේ අතර දඟකාර කිමුතු ලියනාරච්චි පොඩිත්තිය පෙර දවසක මෙන් දුවන්නට තනන්නේ මල්යායක් පිපී දිලෙන හේනක් වෙත ය.

“ එදා අපි හැමෝම සමනල්ලු ඇල්ලුවා. එක එක පාට ඒ සමනල්ලු බලන්න ලස්සනයි.”

10 ශ්‍රේණියෙ කිරිබත්ගොඩ විහාරමහාදේවි පාසලේ ශිෂ්‍යාවක වන ඇගේ මේ සුන්දර කියුම් අපට අපගේ ළමාවිය සිහිපත් කරයි. මේ අයුරින් ‘හෝ ගානා පොකුණේ ළමෝ කණ්ඩායමත් සමඟ හෝරා කිහිපයක් ගත වී තිබුණේ අපටත් නොදැනීම ය. ඒ මැටිහක් ගම්මානයටත්, මේ සමනලුන් මෙන් සුන්දර ළමුන්ටත් තම ගම්බිම් කරා යන්නට කාලය උදා වූ බව පවසන්නේ තුරු අතර සැඟවෙන්නට වෙර දරන රාස්සිගේ අව්දැල්ලයි. මුළු ගමටම සිසිල බෙදන ඒ වැව් බැම්මේ අවසන් වතාවටත් පෙළ ගැසෙන ඒ ළමුන් රංචුවට අපි ඔවුන්ට ආයුබෝවන් කිව්වෙමු. ඒ ඔවුන්ගේ පැහැබර හෙට දිනක් උදෙසා ය.


-තිලානි ශානිකා විතානාච්චි
(Sarasaviya)

Share on Google Plus