යූඑන්පිය බලයට ගේන්න ගම්මන්පිල සහ සමාගම කොන්ත්‍රාත්තුවක් ඉටු කරනවා.


ඇවන්ගාඩ් ගාඩ් කරන ඇවන්ගාඩ් ඩෝග් කරන, ඇවන්ගාඩ් ගෝඩ් කරන සියලු දෙනාම පිටුපස හදවතින්ම ඇතිවන හෝ පර්ස් එකේ ඩීල් එකක් තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කීය.

එසේම උදය ගම්මන්පිල මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරන නමුත් උදය ගම්මන්පිල සහ සමාගමේ සිහින ඉටුවීමට ශ්‍රී ල. නි. ප.ය ඉඩ නොදෙන බවත් ඔවුන්ට සිහින දැකීමේ නිදහස තිබෙන බවත් පෙරේරා මහතා කීය.
ඔහු එසේ ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (2දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඊට නාගරික සංවර්ධන හා ජලසම්පාදන රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද එක්ව සිටියාය.

එහිදී ඩිලාන් පෙරේරා මහතා මෙසේ ද කීය.

"මේ අය - වැය යෝජනාවේ හොඳ නරක දෙකම තියෙනවා. ඒ නිසා මේ අය - වැය යෝජනාවේ නරක හෝදලා හොඳ ටික තමයි ගන්න ඕන. මේ අය - වැය ඉදිරිපත් කරපු දා ඉඳන්ම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවගේ පැත්තෙ ඉඳලා ජනතාව වෙනුවෙන් කතා කළා. ඒ නිසා ජාතිය ගොඩනැඟීමේ බද්ද, විදුලි පාරිභෝගිකයන්ට අදාළ නොවෙන විදියට කටයුතු කරන්න පුළුවන් වුණා. දුම් බද්ද ගැන අපි දිගටම කිව්වේ සියලුම වාහනවලට එපා කියලා. දැන් ඒකෙන් ත්‍රීවීල්, මෝටර් බයිසිකල් නිදහස් වෙලා තියෙනවා. අපි දිගටම කිව්වේ තීරුබදු රහිත වාහන බලපත්‍රය රජයේ සේවකයන්ට ලබා දෙන්න කියලයි. ඒක මන්ත්‍රිවරුන්ගෙන් අයින් කරනවට ජනතාව කැමැතියි. අලුතෙන් එන රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුපත් අහිමි වීමේ අවස්ථාව තුළ මේ වාහන පර්මිට් එක නැති කිරීමෙන් රාජ්‍ය සේවය හකුළා දාන්න හදනවද කියලා ජනතාව තුළ සැකයක් ඇතිවෙලා තියෙනවා. තේ සහ පොල් වගාවන් සඳහා වවුචර් ක්‍ර,මය හරහා හෝ පොහොර සහනාධාරය ලබා දෙන්න කටයුතු කරයි කියන දේ අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමත් ඒ ගැන දැඩි අවධානයකින් ඉන්නවා.

උදය ගම්මන්පිල ගරු උගත්, නීතිඥ, මන්ත්‍රිතුමා පහුගිය දිනයක කියලා තිබ්බා ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ල. නි. ප.ය හතර වැනි තැනට දාන්න එතුමලා කටයුතු කරනවා කියලා. මම එතුමගෙන් අහනවා එතුමා මේ ඉටු කරන්නේ යූ. ඇන්. පී. එක පළමුවැනි තැනට ගේන කොන්ත්‍රාත් එකක්ද කියලා. මොකද ශ්‍රී ල. නි. ප.ය හතර වැනි තැනට ඇදලා දානවා කියලා කියන්නේ ශ්‍රී ල. නි. ප.ය දෙකට කැඩුවම වාසිය ලැබෙන්නේ යූ. ඇන්. පී. එකටනේ. ශ්‍රී ල. නි. ප.ය කැඩුණොත් ඒකේ වාසිය යූ. ඇන්. පී. එකට ලැබෙනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා කාලයක ඉඳන් කිව්වා. අද වෙද්දි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමත් ඒ කතාව කියනවා.

ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී උදය ගම්මන්පිල මැතිතුමාල, විමල් වීරවංශ මැතිතුමාල, ශ්‍රී ල. නි. ප.ය කඩලා මල් පොහොට්ටුවෙන් ඉල්ලන්න හදපු වෙලාවේ ඒකට ඉඩ නොදී බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලන්න කටයුතු කළේ. ඒ වෙලාවේ බුලත් කොළයෙන් නැතිව මල් පොහොට්ටුවෙන් ඉල්ලුවානම් තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා. එදා ඒ අය පාර්ලිමේන්තු මැතිවරණයේදී එවර ගත්තු කොන්ත්‍රාත්තුව අසාර්ථක වුණාට පස්සේ දැන් බළලා මල්ලෙන් එළියට පැනලා. මෙහෙම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දවලින් මන්ත්‍රිකම ගත්තු උදය ගම්මන්පිල මැතිතුමා. එතුමා පළාත් සභා ඇමැතිකම් ගත්තෙත් ශ්‍රී ල. නි. ප.යේ ඡන්දවලින්. ඒ නිසා එතුමට අපි කියන්නෙ එ. ජා. ප.යේ දේශපාලන කොන්ත්‍රාත් ඉටු කරපු දේශපාලන තැරැව්කරුවන් හිටියා. හැබැයි ඒ අයට ජනතාව නිසි පිළිතුරු දුන්නා.

දැන් ශ්‍රී ල. නි. ප. ප්‍රමුඛ සන්ධානය මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ඊළඟ ඡන්දය දිනන්න ශක්තිමත් වැඩපිළිවෙළක් ගොඩනඟනවා. එදාට හතර වැනි තැනට ඇවිත් ඇප නැති වෙන්නේ කාටද කියලා පැහැදිලිවම දැනගන්න පුළුවන්.

දැන් ජ. වි. පෙ. කියනවා බුලත් කොළයෙන් ඡන්දෙ ඉල්ලපු කාටවත් අය - වැයට පක්ෂව ඡන්දය දෙන්නෙ නැහැ කියලා. ශ්‍රී ල. නි. ප. අපේ පක්ෂය. සන්ධානය කියන්නේ බුළත් කොළයෙන් ඉල්ලපු අපි. ඒ හින්දා අපි අපේ පක්ෂයේ තීන්දු ගන්නම්. ජ. වි. පෙ. අය ඒ අයගේ පක්ෂය ගැන තීන්දු ගන්න ඕන. පක්ෂයේ නායකයා පක්ෂය දාලා ගිහින් දැන් ඉන්න නායකයා විවේචනය කරන ඒවාට උත්තර දෙනවා වෙනුවට ජ. වි. පෙ. දැන් කරන්නේ ශ්‍රී ල. නි. ප.ය ගැන හොයන එක. දැන් ජනතා විමුක්ති පෙරමුණේ අම්මලා, තාත්තලා පක්ෂය දාලා ගිහින් දැන් ඉන්නේ බාප්පලා, පුංචි අම්මලාගේ කට්ටිය. මම මේ දේවල් කියන්නේ මා මිත්‍ර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමාටත් එක්ක. එතුමා නිරන්තරයෙන් කියනවා ගියපාර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවක් හදන්න ජනතාව වරමක් දුන්නේ නෑ කියලා. ඒ වුණාට අපිට ආණ්ඩුවක් හදන්න වරමක් දුන්නා. හැබැයි ශ්‍රී ල. නි. ප.යට එ. ජා. ප.යේ නායකත්වය යටතේ ආණ්ඩුවක් හදන්න වරමක් දුන්නේ නැහැ. ඉතින් මේ හදලා තියෙන ආණ්ඩුව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවක්. එතුමගේ ආණ්ඩුවේ අගමැති තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. පක්ෂ දෙකේම කාටවත් තනි ආණ්ඩුවක් හදන්න බලය දුන්නෙ නැති තැන අපි හදලා තියෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ තියෙන ආණ්ඩුවක් යැයි ඩිලාන් පෙරේරා මහතා කීය.

එම මාධ්‍ය හමුවට ජලසම්පාදන හා නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද සහභාගි වී සිටියාය.
එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පිළිතුරු ලබා දුන්නේ මෙසේය.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් අය - වැයට විරුද්ධව ඡන්දෙ දුන්නොත් මොකද වෙන්නේ?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහර අයගේ හීනයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න. හැබැයි ශ්‍රී ල. නි. ප.යේ අපි දෙකට බෙදිලා නැහැ. මත දෙකක ඉන්නේ. ඒක පක්ෂ දෙකක් කරන්න තමයි සමහර අය උඩගෙඩි දෙන්නේ. හැබැයි විපක්ෂයේ ඉන්න ශ්‍රී ල. නි. ප. මන්ත්‍රිවරු අය - වැය ගැන විවේචන පවා කළේ ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලයි. ශ්‍රී ල. නි. ප.ය මත දෙකක් තුළ ඉඳිමින් පක්ෂය තවත් ශක්තිමත් කරන වැඩපිළිවෙළක තමයි අපි ඉන්නේ. එහෙම නැතිව ගම්මන්පිල මහත්තයාට ඕන විදියට යූ. ඇන්. පී.ය පළමු වැනි තැනට ගේන්න අපිට අවශ්‍ය නැහැ. අපි හැම තීරණයක්ම ගන්නේ ශ්‍රී ල. නි. ප.ය සමඟිය ආරක්ෂා කරන්නයි.

ඒ කියන්නේ ශ්‍රී ල. නි. ප. සියලුම මන්ත්‍රිවරු අය - වැයට පක්ෂව ඡන්දය දෙනවා කියලද කියන්නේ?

මෙහෙමනේ අර ඇමැති ධුර 30ට වඩා ඇති කරන එකට පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන වෙලාවෙ අපේ පක්ෂය කැඩෙයි කියලා කිව්වට එහෙම වුණේ නැහැනේ. ඒ සඳහා අපි ක්‍රමවේදයක් හැදුවනේ. ඒ දේම මේ පාරත් වෙයි. හැබැයි ගම්මන්පිල සහ සමාගමේ සිහින සැබෑ වෙන්නේ නැහැ.

ඔය පක්ෂය දෙකට කඩන්න හදන අය අතරේ මහින්ද රාජපක්ෂ මහත්තයත් ඉන්නවද?

නෑ. එතුමා හැමදාම කියන්නේ ශ්‍රී ල. නි. ප.ය එකට ඉන්න ඕන කියලයි.
අය - වැයට සහාය දෙන්න ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එනවලු නේද?

ඒක මම නම් දන්නේ නැහැ. ශ්‍රී ල. නි. ප.ය ඉතින් ජාතික ආණ්ඩුවට එකතුවෙලා ඉවරයි.

ජාතික ආණ්ඩුවේ ඉන්න ගමන් කොහොමද එ.ජා.ප.ය පරාජය කරන්න ශ්‍රී ල.නි.ප.ය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නේ?

ඒ ප්‍රශ්නය එ.ජා.ප.යේ අයටත් තියෙනවා.

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ල.නි.ප.ය එන්නේ තනිවමද සන්ධානය විදියටද?

පළාත් පාලන ඡන්දයට ශ්‍රී ල.නි.ප.ය තරග කරන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත්, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියත් සහභාගීත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් වඩා පුළුල් වූ සන්ධානයක් විදියට.

පසුගිය මහ මැතිවරණයේදී ඔය තුන්දෙනා එකතු කරගන්න බැරි වෙච්ච එකේ දැන් කොහොමද කරන්නේ?

අපි ඒක යම් තරමකට කළානේ පසුගිය මැතිවරණයේදී. වෙන් වෙලා කෑලි කැඩීමේ කොන්ත්‍රාත්කරුවන්ට අපි අහුවෙන්නේ නැහැ. මේ වෙද්දි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ අපිට අපේ පක්ෂය හදාගන්න පුළුවන්. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රදළයෙක් නොවේ. එතුමගේ නම මෛත්‍රිපාල රාජපක්ෂ හරි මෛත්‍රිපාල බණ්ඩාරනායක හරි වුණා නම් ඔය ප්‍රශ්න දාන්නේ නැහැ. මෙහෙමයි හීන දකින අයට හීන දකින්න නිදහස දීලා තියෙන්නේ. ඒ අය දකින හීන හැමදාම හීන විතරයි.

ඇවන්ගාඩ් සිද්ධියට චෝදනා ලබපු ඇමැතිවරුන්ට එරෙහිව ගන්න ඕන පියවර මොනවාද?

මේ මගේ පෞද්ගලික මතය. ඇවන්ගාඩ් ගාඩ් කරන අයත් ඉන්නවා, ඇවන්ගාඩ් ගෝඩ් වගේ පේන අයත් ඉන්නවා. ඇවන්ගාඩ් ඩෝග් වගේ පේන අයත් ඉන්නවා. හැබැයි හැමෝම එක එක ඩීල්වල එක එක ව්‍යාපෘතිවල ඉන්නේ. ඇවන්ගාඩ් කියන්නේ ඩීල් වැඩක්.

ඇවන්ගාඩ් ගාඩ් කරන අයට මොකද කරන්න ඕන?

ඇවන්ගාඩ් ගාඩ් කරන අයට තමා ඇවන්ගාඩ් ගෝඩ් වගේ පෙනෙන්නේ.

ඉතින් ඒ අයට මොකද කරන්න ඕනෙ?

ඇවන්ගාඩ් ගාඩ් කරන අය විපක්ෂයේ රජයේ දෙකේම ඉන්නවනේ.
කවුද ඒ?

විජයදාස රාජපක්ෂ මහත්තයට චෝදනා ආවා, තිලක් මාරපන මහත්තයා ඉල්ලා අස්වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා මාරපන මහත්තයා හරි කිව්වා. විමල් වීරවංශ මහත්තයා, ගම්මන්පිල මහත්තයා, මාරපන මහත්තයා හරි කියලා කිව්වා. එහෙම බලපුවාම ඇවන්ගාඩ් ගාඩ් කරන ගොඩේ යූ.ඇන්.පී. අයත් ශ්‍රී ලංකා අයත් දෙගොල්ලන්ම ඉන්නවා. ඇවන්ගාඩ් ඩෝග් කියලා කියන අනුර දිසානායක විරුද්ධ පක්ෂයේ. රාජිත සේනාරත්නත් ආණ්ඩු පක්ෂයේ. එතකොට මේ දෙපැත්තෙම ඉන්නවා. එක්කො එතැන පපුවෙන් එන ඩීල් එකක් තියෙනවා. නැත්නම් පර්ස් එකෙන් එන ඩීල් එකක් තියෙනවා. කොහොම ආවත් ඩීල් තමා.


Share on Google Plus