රජයේ සමාගම් ලබන වසරේ දී ලැයිස්තුගත කරනවා – අගමැති කොටස් වෙළෙඳපොළේ දී කියයි.


වසර 2030 වන ලොව ඉහළ ආදායම් ලබන කාණ්ඩයේ රටක් බවට පත්වන්නට අපට හැකි බවත් ඒ සඳහා අපහසු වුවත් 9% ක ආර්ථික වර්ධන වේගයක් කරා ශ්‍රී ලංකාවට යා හැකි බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. කොළඹ කොටස් වෙළෙඳපොළ පිහිටුවා වසර 30 ක් පිරීම නිමිත්තෙන් අද උදෑසන එහි පැවති උත්සව අවස්ථාවක දී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය. “2008 දී ගෝලීය ආර්ථික අවපාතය හමුවේ ෆෙඩරල් පොළී අනුපාතික පහළ ගියා. ඒ වකවානුවේ බොහෝ ආයෝජකයින් බටහිර ආයෝජනවලට යොමු වුණේ නැහැ. 2016 දී ෆෙඩරල් පොළී අනුපාතික ඉහළ නංවන්න කටයුතු කර තිබෙනවා. ඔබාමා ජනාධිපතිවරයා හට තම ධුර කාලයේ දී ඇමරිකානු ආර්ථිකයේ වර්ධනයක් හා පොළී අනුපාතික ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමක් සිදුකිරීමට අවශ්‍ය වී තිබෙන බව විශ්වාසයි.“

“ලබන වසරේ දීත් 6.5% ක ආර්ථික වර්ධන වේගය තබා ගත යුතුයි. එය 8% -9% දක්වා වර්ධනය කර ගන්න අපට පුළුවන්. දුෂ්කර වුවත් එය කළ නොහැකි දෙයක් නොවෙයි. ඒ අනුව වසර 2030 දී ඉහළ ආදායම් ලබන කාණ්ඩයේ රටක් බවට පත්වීඹට අපට පුළුවන්“.

මෙහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ආයෝජන වර්ධනය කර ගැනීම සඳහා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමත්, රටේ ශක්තිමත් මධ්‍යම පංතියක් ඇති කිරීමත්, මුදල් අමත්‍යවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනාවන්ගේ පසුබිම බවයි.

“ආයෝජන රටට ගෙන ඒම තුළින් ආදායම් ඉහළ නැංවීම හරහා 2020 දී 3.5% ක අයවැය පරතරයක් ලඟා කර ගැනීමට අපට පුළුවන්. මෙහි මූලික පියවර වශයෙන් රාජ්‍ය ව්‍යවසායන් වඩා ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට අප කටයුතු කරනවා. රාජ්‍ය ව්‍යවසායන් අනිවාර්යයෙන්ම රාජ්‍ය ආදායමට දායකත්වයක් ලබා දෙන මට්ටමට පැමිණිය යුතුයි.“

“අධි තරඟකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් වෙත අපේ අවධානය යොමුවී තිබෙනවා. ඒ තුළ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, නගරය තුළ යහපත් රථවාහන සැලැස්මක් අන්තර්ගත වෙනවා. මෙගා පොලිස් හා පොර්ට් සිටි ව්‍යාපෘති ඉදිරියේ දී ක්‍රියාත්මක වන ආකාරය අනුව කොළඹ දිස්ත්‍රික්කය විශේෂ මූල්‍ය හා ව්‍යාපාරික දිස්ත්‍රික්කයක් බවට පත්කරන්න අපට හැකිවෙයි“, යනුවෙන් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

“අපට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය නිවැරදිව කියන්න අපි දන්නේ නැහැ. බොහෝ විට ලබන වසරේ දී අවිනිශ්චිතතා වගකීම් පනතක් (Contingency liability bill) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහිදී මෙම වියදම් පියවා ගැනීම සඳහා අතිරේක අරමුදල් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව තීරණය කරනු ලබනවා.“

“අපට කාර්යක්ෂම හා පාරදෘෂ්‍යභාවයෙන් යුතු කොටස් වෙළෙඳපොළක් අවශ්‍යයි. ලබන වසරේ දී රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් ලැයිස්තුගත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. රටේ දැනට සිටින සමාගම් කොටස් හිමියන් ප්‍රමාණය පිළිබඳ සතුටු වන්නට බැහැ. එම ප්‍රමාණය වැඩි කළ යුතුයි. මධ්‍යම පාංතිකයන් ඒ සඳහා යොමුවීම අවශ්‍යයි“, යනුවෙන් අගමැතිවරයා මෙහිදී අවසාන වශයෙන් කියා සිටියේය.

ඡායාරූපය – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොළඹ කොටස් වෙළෙඳපොළේ 30 වැනි සංවත්සරයට එක්වෙමින් රැස්ව සිටි පිරිස ඇමතූ ආකාරය (ඉහළ) සහ සම්ප්‍රදායකි දෛනික ගනුදෙනු ආරම්භ කිරීමේ සීනුව නාද කළ මොහොත (පහළ).




Share on Google Plus