එජාප මන්ත්‍රීට වෙල්ගම තර්ජනය කරලා.


ඉකුත් ජනවාරි 8 වැනිදා සිට ජනතාවට නිදහස, මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ආණ්ඩුව විවේචනය කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හිමි වුවත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂය තුළ තවමත් භීෂණයේ අඳුරු සෙවණැලි දක්නට ලැබෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ආශුබෝධ මාරසිංහ මහතා සඳහන් කරයි.

සම්මුතිවාදී පාර්ලිමේන්තුවක් තුළ ප්‍රථම වරට අය - වැය 2/3ක ඡන්දයෙන් සම්මත වූයේ විපක්‍ෂ නායකවරයාගේ ඡන්දයත් ඒ සඳහා ලැබීමෙන් පසුව බව පෙන්වා දෙන මන්ත්‍රිවරයා රටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන පාර්ලිමේන්තුවේදී වෙල්ගම මන්ත්‍රිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයක් නිසා තමන්ට තර්ජනයකට ලක්වීමට සිදුවූ බවත් ප්‍රකාශ කරයි.

බස් 1,500ක් ඩොලර් 40,000 බැගින් ලංගමයට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය තිබියදී ඩොලර් 50,000 බැගින් බස් රථ 2,200ක් මිලට ගැනීම, ටෙන්ඩර් පටිපාටියෙන් තොරව බිලියන 1.5ක අමතර කොටස් මිලදී ගැනීම, නිම්බස් සමාගමට නොමිලයේ ලංගම ගබඩා පහසුකම් ලබාදීම පිළිබඳව තමන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න මතු කළ අවස්ථාවේ බස් ගෙනාපු හැටි බලා ගන්නට එළියට එන ලෙසත්, එළියට ආපුවහම බලාගන්නම් යැයි වෙල්ගම මන්ත්‍රිවරයා තමන්ට තර්ජනය කළ බව පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයේදී ඊයේ (3දා) සවස පැවැති මාධ්‍ය හමුවකදී මාරසිංහ මන්ත්‍රිවරයා සඳහන් කළේය. ලංගම සේවකයන්ට වසර ගණනාවක් තිස්සේ සේවක අර්ථ සාධක අරමුදල්, සේවක භාර අරමුදල් හා පාරිතෝෂික දීමනා ගෙවා නොමැති බවත්, ඒ පිළිබඳව ලංගම අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව නඩු 218ක් ගොනුකර ඇති බවත් පෙන්වා දුන් මන්ත්‍රිවරයා බස් හා අමතර උපකරණ ගෙන්වීමට දැක්වූ උනන්දුව සේවක අයිතිවාසිකම් ලබාදීමට හිටපු ඇමැතිවරයා නොදැක්වූයේ මන්දැයි ප්‍රශ්න කළේය.

මන්ත්‍රිවරයාගේ තර්ජන නිසා විපක්‍ෂයේ අසුන් ගන්නා මන්ත්‍රිවරුන්ගේ ආරක්‍ෂාවට දැඩි බලපෑමක් සිදුව ඇතැයි කී මාරසිංහ මන්ත්‍රිවරයා ජනවාරි 8දායින් පසුවත් පාර්ලිමේන්තුවේ භීෂණය ඇතිවීම පිළිබඳව තමන් කතානායක කරු ජයසූරිය මහතාට පැමිණිලි කළ බවද පැවසුවේය.

Share on Google Plus