බොරු ගණන් පෙන්වා ලංකාවට ගෙනා වාහන 700ක් අඩු ගාණකට මුදා හරින්න යයි.


ව්‍යාජ අගයක් දක්වා ආනයනය කර ඇතැයි කියන වාහන හත්සියයකට ආසන්න ප්‍රමාණයක් දඩ මුදල් රහිතව රුපියල් දාසය ලක්ෂයක් අය කර මුදාහැරීමට තීන්දු කිරීමෙන් රුපියල් කෝටි එකසිය හතළිහකට ආසන්න බදු මුදලක් රජයට අහිමි වනු ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය කියයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයකින් මේ වාහන තොගය මුදාහැරීමට තීරණය කොට ඇතැයි වෘත්තීය සමිති කියයි.

ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු පවසන අන්දමට යෙන් ලක්ෂ හැටපහක් තරම් වටිනා ටී.ආර්.ජේ. 150 වර්ගයේ එක් වාහනයක් යෙන් ලක්ෂ හතළිස් හතරක් වටිනා බවට ව්‍යාජ අගයක් දක්වා ව්‍යාපාරික පිරිසක් විසින් මේ වාහන ආනයනය කර තිබේ. පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා එසේ ආනයනය කරනු ලැබූ වාහන හත්සියයකට ආසන්න තොගය වරායේ විමර්ශන අංශවලින් මුදා නොහැර පරීක්ෂණ පවත්වද්දී අදිසි හස්තයකින් මුදාහැරීමට උපදෙස් දී ඇති බව සංගමය කියයි.

රේගු නිවාරණ අංශය, ආදායම් අධීක්ෂණ බළකාය සහ රේගු මධ්‍යම බුද්ධි අංශයෙන් රඳවාගෙන තිබූ වාහන නීති රීතිවලට පටහැනිව මෙසේ මුදාහැරීමෙන් රුපියල් කෝටි එකසිය හතළිහක පමණ පාඩුවක් රජයට සිදුවන බව කියන රේගුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් පැමිණිලි කරන බවද කීය.

අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේ මේ පිළිබඳව තමාට කිසිම දෙයක් කිව නොහැකි බැවින් අධ්‍යක්ෂ ජනරාල්වරයාට කතා කරන ලෙසටය.
අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද දුරකතනය හැඬවී නිහඬ වූවා මිස සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

Share on Google Plus