කොළඹ මහ නගර සභාවට 150 යි - වැඩසටහන් රැසකින් සමරයි.


සිය අභිමානවත් 150 වැනි සංවත්සරය සමරමින් කොළඹ මහ නගර සභාව සුවිශේෂී සංස්කෘතික හා සමාජයීය වැඩසටහන් රැසක් දෙසැම්බර් මසදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති බව සාඩම්බරයෙන් දැනුම් දී සිටියි.

ඊට සමගාමීව ප‍්‍රජාව අතර අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කරනු වස් දෙසැම්බර් දක්වා වූ ගෙවුණ වසර පුරා ආගමික කටයුතු රැසක් නගරාධිපති එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පැවැත්වීමටද කොළඹ මහ නගර සභාව කටයුතු කරනු ලැබීය.

මෙම සැමරුමෙහි විශේෂ අවස්ථාවක් ලෙස දෙසැම්බර් 13 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර නගරාධිපති සංසදය හඳුන්වාදිය හැකිය. ගරු කතානායක කරු ජයසූරිය මහතා මුලසුන හොබවන මෙම ජාත්‍යන්තර නගරාධිපති සංසදය සඳහා ලොවපුරා බොහෝ නගරාධිපතිවරුන් සහභාගීවීමට නියමිත අතර එහිදී විශේෂයෙන් ‘අනාගත නගර’ පිළිබඳ සාකච්ජා හා ඉදිරිපත් කිරීම් සිදුවනු ඇත.

එසේම කොළඹ මහ නගර සභාව හා එහි බල ප‍්‍රදේශය තුළ වෙසෙන ජනතාව සමඟ සුහදතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් නිවාස අංක තහඩු 120,000ක් පිරිනැමීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි. කොළඹ මහ නගර සභාව සහ රිචඞ්සන් ආයතනය අතර රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවයේ සංධිස්ථානයක් ලෙස නම් කළ හැක. එම ව්‍යාපෘතිය 2015 දෙසැම්බර් 14 වන දින ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ නිළ නිවාසයන් හා කාර්යාලයන් අංකනය කිරීමෙන් ආරම්භය සනිටුහන් කරනු ඇත.

Share on Google Plus