ඒකාබද්ධ විපක්ෂයේ 15ක් ආණ්ඩුවට- ඒ අතර චමල් රාජපක්ෂත්?


ඒකාබද්ධ විපක්ෂයේ  මන්ත්‍රීවරු 15 දෙනෙකු පමණ රජයට එක්වීම සඳහා සාකච්ඡා කර ඇති බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසනවා. 

ඉන් හය දෙනෙකුට පමණ තනතුරු ලබා දීමට කටයුතු කරන බවයි මාදම්වෙල ශ්‍රී ධර්මෝදය මහා පිරිවෙණේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

තනතුරු නොලැබුණත් එම පිරිස් ආණ්ඩුවට එක් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. 

මේ අතර පළාත් පාලන මැතිවරණය කල්යනු ඇති බව ද එහිදී ප්‍රකාශ වුණා.

කෙසේ නමුත් චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කළ ප්‍රබලයින් තිදෙනෙකු ජනවාරි මස මුලදී ආණ්ඩුවේ ඇමති ධූර ලබා ගැනීමට සූදානම් බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගියදා අවසන් වූ අයවැය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි කණ්ඩායමේ පවිත්‍ර දේවි වන්නිආරච්චි, මනූෂ නානායක්කාර, ගීතා කුමරසිංහ යන තිදෙනා ද අයවැයට පක්ෂය ඡන්දය ලබා දුන් ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයාද මෙම කණ්ඩායමට ඇතුළත් බව එම මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන් වේ.


මේ පිළිබඳව අදහස් දක්වමින් විජිතමුණි සොයිසා ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු යපාලන ආණ්ඩුව හා එක්වී ඇමති ධූර ලබා ගැනීමට කැමැත්ත පළකර තිබෙන බවය.

Share on Google Plus