විමල්, නිරෝෂාට ලක්ෂ සියයක නිවසක් දීලා.


හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිය අමාත්‍ය ධුරයේ කටයුතු කරන සමයේ ඥාති සංග්‍රහයක යෙදී ඇති බවට බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත.

නිවාස සංවර්ධන අධිකාරියට අයත් මත්තේගොඩ ප්‍රදේශයේ ඉදිකළ රුපියල් කෝටිය බැගින් වටිනා නිවාස පහෙන් හතරක්ම විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා මුදල් අය කිරීමකින් තොරව ළඟම ඥාතින්ට ලබාදී ඇති බව එමඟින් හෙළි වී ඇත.

එසේම අමාත්‍යවරයා සමඟ හිතවත්කම් පැවැත්වූ නිරෝෂා නානායක්කාර නැමති කාන්තාවකට ලක්ෂ සියයකට අධික වටිනාකමකින් යුත් මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමයේ නිවසක් අඩු මුදලකට ලබාදී ඇති බවටද හෙළි වී ඇත.

ශිරන්තිටත් දීලා :

ඊට අමතරව මේ නිවාස යෝජනා ක්‍රමයෙන් ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය උපදේශක මිලින්ද රත්නායක නමැත්තකුට රුපියල් ලක්ෂ 105 ක් වටිනා නිවෙසක් නොමිලේ ලබා දී ඇතැයි ද, කලාපුරේ නිවෙසක් හිමිව තිබූ ජයන්ත රෝහණ නමැත්තකුට රුපියල් ලක්ෂ 100 ක වටිනාකමින් යුත් නිවසක් ද, නොමිලේ ලබා දී ඇතැයි ද, විමර්ශනයේදී අනාවරණය වූ බව කොමිසමේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ය.

මේ සියලු නිවාස ගනුදෙනු නිසි ක්‍රමවේදයකින් තොරව නීතියට පටහැනිව සිදුකර ඇතැයි ද අනාවරණය වී ඇත.

මේ විමර්ශනයට අදාළව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (දේපළ) සරත් කුමාර මහතාගෙන් කොමිසමේ විමර්ශන නිලධාරීහු පෙරේදා (17) ප්‍රකාශ සටහන් කර ගත්තේය.


තවද හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මෙම 21 වෙනිදා පැමිණෙන ලෙසට කොමිසම දැනුම් දී ඇත.

මේ අතර විමල් වීරවංස සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ට වැටුප් ගෙවා ඇති බවත් ඒ සඳහා නිවාස අමාත්‍යාංශය තුළ නව තනතුරු සකස් කර ඇති බවත් පසුගිය 16වනදා පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ 2016 අයවැය කාරක සභා අවස්ථාවේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සිදු කළ අනාවරණයකිණි.

විමල් වීරවංස සිය පක්ෂ මධ්‍යමකාරක සභිකයින් සඳහා අමාත්‍යාංශයේ තනතුරු නිර්මානය කර දුන්නද ඔවුන් කිසිඳු වැඩබිමක හෝ කාර්යාලයක සේවය කර නැති බවත් ඔවුන් රජයේ වැටුප් ලබමින් ඉතා නීතිවිරෝධී පක්ෂ දේශපාලනයේ නියැලී ඇති බවත් එහිදී බිමල් රත්නායක මහතා අවධාරණය කර තිබේ.

මේ සම්බන්දයෙන් වත්මන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමතා අල්මැරුණු ස්වභායකින් කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන බවද බිමල් රත්නායක මහතා එදින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.


Share on Google Plus