යහපාලනයේ JF ‍-17 ජෙට් ගනුදෙනුව පිටුපසත් ජාවාරමක්?



පෙර වදන : පහතින් දැක්වෙන ලිපිය පළවුයේ සතිඅන්ත පුවත්පතක් වන සත්හඩ පුවත්පතේය. එහිදී හෙළිදර කරන ජෙට් ගනුදෙනුවට අදාළ සමාගමේ දේශීය ඒජන්තවරයා ලෙස කටයුතු කරන බවට පැවසෙන ඇක්සස් ව්‍යාපාරයේ හිමිකරු සුමල් පෙරේරා සමග ජනාධිපතිවරයාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ සහෝදරයා වන චන්න වික්‍රමසිංහ මහතා ද හෝටල් පරිශ්‍රතුල ව්‍යාපාර ගණුදෙනු පිළිබඳ කතා කරමින් සිටිනු දක්නට ලැබුණු බව පසුගිය සමයේ මාධ්‍ය වාර්තා පලවිය.
මෙම ජාවාරම සුමල් පෙරේරා විසින් කාගේ අනු දැනුම මත සිදුකළේ ද? යන්න ජනතාව හමුවේ ඇති පැනයකි. මෙසේ කටයුතු කළහොත් යහපාලන ආණ්ඩුවට වැඩි ආයුකාලයක් හිමිනොවනු ඇති බව දේශපාලන විචාරකයන් පවසයි. 

අවි ආයුධ වෙළෙඳාම යනු ලෝකයේ අංක එකේ ජාවාරමකි. මෙම ගනුදෙනුවේ ශුද්ධවන්තයෝ නැත. ශුද්ධවන්තයන් බලාපොරොත්තු විය යුතුද නැත. එහෙත් රාජ්‍යයකට අවි අයුධ ගනුදෙනුවේ දී අවම වශයෙන් හෝ විනිවිධභාවය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීමට සිදුවේ.

ඊට රාජ්‍යයේ පාලකයන් ශක්තිමත් විය යුතුය.

ඒ කොහොම නමුත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ප‍්‍රහාරක ගුවන් යානා අලූතෙන් මිලදී ගැනීම සඳහා මේ වන විට අවසන් අදියරේ පවතින සැලසුම පිටුපසත් කොමිස් ජාවාරමක් ක‍්‍රියාත්මක වීමේ විශාල ඉඩකඩක් නිර්මාණය වෙමින් පවතින බව අප වෙත තොරතුරු වාර්තා වී තිබේ.

පසුගිය යුද සමයේ දී මිග් යානා, කෆීර් යානා පෙරටු කරගත් යම් ප‍්‍රබල ගුවන් ප‍්‍රහාරක හැකියාවක් සහිතව ගුවන් හමුදාව වැජඹුණ ද මේ වන විට එම යානා විශාල ප‍්‍රමාණයක් අබලං වීම හා කල් ඉකුත් වීමේ ගැටලූවක් පවතී.

එමෙන්ම මෙහිදී යුධ අවශ්‍යතාවයක් නොමැති කාලයක ප‍්‍රහාරක ගුවන් යානා වෙනුවෙන් ජාතික ධනය වැය කිරීම සම්බන්ධයෙන් සාධාරණ ගැටළුවක්ද කෙනෙකුට ඇති විය හැකිය. ඒ කෙසේ වෙතත් ගුවන් හමුදාවට වහාම ප‍්‍රහාරක ගුවන් යානා අලූතෙන් මිලදී ගැනීමට තීන්දු කර ඇත. මේ සඳහා ගුවන් හමුදාව යොදා ගනු ලැබූ නිල ක‍්‍රියාපටිපාටිය කුමක් වූවත් මෙම ගනුදෙනුව සඳහා අතරමැදියා ලෙස තෝරාගෙන තිබුණේ කැටික් (CATIC) ලෙස කෙටියෙන් හඳුන්වනු ලැබූ චීන China National Aero-Technology Import & Export Corporation සමාගමය. මෙම ජෙට් යානය නිර්මාණය කිරීමේ කාර්ය සඳහා මෙම සමාගම ද ආයෝජනය කර තිබිණි. මෙම සමාගම ගුවන් යානා අමතර කොටස් නිෂ්පාදනය සඳහා ප‍්‍රසිද්ධියක් උසුලන සමාගමකි.

මෙහි දේශීය ඒජන්තවරයා වෙන්නේ ඇක්සස් සමූහ ව්‍යාපාරයේ හිමිකරු සුමල් පෙරේරාය. රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරික ලැයිස්තුවේ ඉහළ තැනක හිටි සුමල් පෙරේරා වත්මන් යහපාලන ආණ්ඩුවේ ව්‍යාපාරික ලැයිස්තුවේ ද ඉහළින් වැජඹෙන්නකි.

ඒ කෙසේ වූවත් කැටික් සමාගම හා මෙම ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. ගුවන් හමුදා නිලධාරීන් පළමු වරට මෙම ගුවන් යානය දුටුවේ ප‍්‍රංශයේ පැවති 51 ප‍්‍රහාරක ගුවන් යානා ප‍්‍රදර්ශනයක දී බව ද පැවසේ.

කැටික් සමාගම මෙරට කුප‍්‍රකට ගෝල්ෆේස් ඉඩම් ගනුදෙනුවේ ද පාර්ශ්වකරුවෙකි. ගෝල්ෆේස් පිහිටි යුද හමුදා මූලස්ථාන ඉඩම සින්නක්කරේටම විකුණා දැමීමේ දී එහි අක්කර 10ක් මිලදී ගත් සමාගමකි. අනෙක් සමාගම ෂැංග‍්‍රීලාය. කැටික් සමාගම තරු පහේ හෝටල් ව්‍යාපාරයට පළමු වරට පිවිසෙන්නේම කොළඹින් තුට්ටු දෙකට ලැබුණු මේ ඉඩමේ හෝටලයක් ඉදි කරමින්ය. ඒ කෙසේ වුවත් Pakistan Aeronautical Complex හා Chengdu Aircraft Industry Corporation (PAC) හා (CAC) තාක්ෂණික ඒකාබද්ධතාවකින් යුතුව පාකිස්ථානය වෙනුවෙන් නිපද වූ නවතම ප‍්‍රහාරක යානය වූ JF ‍17 Thunder fighter jet හෙවත් ෆියර්ස් ඩ‍්‍රැගන් (ප‍්‍රචණ්ඩ මකරා) සැහැල්ලූ ප‍්‍රහාරක ගුවන් යානා 08 ක් ශ‍්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්විණි.

මෙම වසරේ ජුනි මාසයේ දී මේ සම්බන්ධයෙන් මුල්ම තොරතුරු චීනයේ වෙබ් අඩවියක් (Want China Times) විසින් හෙළි කළ අතර පසුව පාකිස්ථානයේ ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය ද මෙය අනාවරණය කළේය. ඊට අනුව මෙම නොවැම්බර් මාසයේ දී මෙම ගනුදෙනුවේ අවසන් තීන්දුව ගැනීම සඳහා ගුවන් හමුදාපති ගගන බුලත්සිංහල මහතා පාකිස්ථානයේ සංචාරයක් සඳහා යනු ඇත. ජාත්‍යන්තර වෙබ් මාධ්‍යයන් හෙළි කර සිටින්නේ ගුවන් හමුදාපතිවරයා පසුගිය ජුනි මාසයේ දී ද මේ වෙනුවෙන් පාකිස්ථානයට ගොස් ඇති බවය. 2017 වසර මුලදී මෙම ගුවන් යානා මෙරටට ලබා ගැනීම සැලසුම් කර ඇති බව පාකිස්ථානයේ ගුවන් හමුදාව උපුටා දක්වන මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. එහෙත් පසුගිය ජුනි මාසයේ දී මේ සම්බන්ධයෙන් මෙරට ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකයා කීවේ මෙවැනි ගනුදෙනුවක් සිදු නොවන බවය.

එමෙන්ම මෙම නව ජෙට් යානයේ පළමු විදේශ ගැනුම්කරුවා ද ශ‍්‍රී ලංකාව බව පැවසේ. එහෙත් බුරුමයද මේ වන විට මෙම ජෙට් යානා ගනුදෙනුවකට අත්සන් කර තිබෙන බව විදේශ මාධ්‍යවල සඳහන්ය. විදේශ මාධ්‍යවල ශ‍්‍රී ලංකාව යානා 18 හෝ 24ක් ලබා ගන්නා බවට තොරතුරු පළ වී තිබුණ ද ගුවන් හමුදාව බලාපොරොත්තු වන්නේ යාන 8ක් ලබා ගැනීමටය.

විදෙස් ගුවන් යානා විශේෂඥයන් පවසන අන්දමට JF-17 තන්ඩර් ලෙස පාකිස්ථානයත්, FC-1 සියාඕලොන්ග් (Xiaolong) ලෙස චීනයත් හඳුන්වන මෙම සැහැල්ලූ ජෙට් ප‍්‍රහාරක යානය, මිලෙන් අඩු, කාර්යක්ෂමතාවයෙන් හා විශ්වාසදායීත්වයෙන් වැඩි, දිවා රාත‍්‍රී දෙකෙහිම මෙහෙයුම්වල යෙදිය හැකි, බහුකාර්ය ප‍්‍රහාරක යානයකි. ප‍්‍රහාරක ජෙට් පරම්පරාවේ සිව්වැන්නා ලෙස හැඳින්වෙන මෙම යානාව නිපදවීම සඳහා 1999 දී චීනය හා පාකිස්ථානය ගිවිසුමකට එළඹුණු අතර 2003 වසරේ දී ප‍්‍රථම පරීක්ෂණ පියාසැරිය සිදුව තිබේ. 2007 දී පාකිස්ථාන ගුවන් හමුදාවට JF-17‍ යානය අනුයුක්ත කළ අතර දැනට යානා පනහකට වැඩි ප‍්‍රමාණයක් පාකිස්ථාන ගුවන් හමුදාවේ සක‍්‍රිය සේවයේ යොදා තිබේ.

මෙහි මෙටි‍්‍රක් ටොන් 3.5කට අධික බෝම්බ හා මිසයිල රැගෙන යා හැකිය. රුසියාවේ නිෂ්පාදිත සුප‍්‍රකට මිග්-29 ප‍්‍රහාරක යානයේ එන්ජිම පාදක කරගෙන JF-17 යානයේ එන්ජිම නිර්මාණය කර ඇත.

කොහොම නමුත් පාකිස්ථානයට මෙම ගනුදෙනුවට දැඩි උනන්දුවක් දැක්වූයේය. එහෙත් මෙම ගනුදෙනුව සිදු වන්නේ චීන සමාගමක් හරහා වීම නිසා එහි ගනුදෙනුවේ වාසිය ශ‍්‍රී ලංකාවට මුළුමනින්ම නොලැබී යා හැකි බව මේ වන විට දැන ගැනීමට තිබේ.

චීන සමගම ලබා දී ඇති මිල ගණන් අනුව මෙම ගුවන් යානයක මිල ඩොලර් මිලියන 45 කි. වගකීම 1 වසරකි. සේවා කාලය ද 1 වසරකි. නොමිලේ අමතර කොටස් ලබා දීම හෝ කෙතරම් කාලයක් මුදලට හෝ අමතර කොටස් ලබා දීම සම්බන්ධයෙන් වගකීමක් නැත. මෙම ගුවන් යානයේ නිෂ්පාදන කාලය (වර්ෂන්) එක පවතින්නේ තව වසර 7ක් තෙක් පමණක් වීමද සැළකිය යුතුයි.

පාකිස්ථානු නිෂ්පාදන සමාගම පවසන්නේ, මෙම යානය පියාසර පැය 4000 ක් එනම් වසර 25ක පමණ ආයු කාලයක් ඇස්තමේන්තු කර නිමවා ඇති බවය.

එහෙත් මේ අතර මෙම ගුවන් යානයේ අලෙවිය වෙනුවෙන් පෙනී සිටින පාකිස්ථාන සමාගම හරහා මෙම ගුවන් යානා ගනුදෙනුව සිදු වේ නම් එක් යානයක මිල ඩොලර් මිලියන 32 කට අඩු මුදලකට ලබා ගැනීමේ හැකියාව ඇති අතර වසර තුනක වගකීමේ සහතිකයක් හා සේවා කාලයක් ලැබේ. එමෙන්ම වසර 7 ක් තෙක් අමතර කොටස් සැපයීමේ වගකීම ද එම සමාගම බාර ගනී. ඊටත් වඩා ඔවුන් ඉදිරිපත් කරනු ලබන පැකේජය අනුව යාන 8 ක් මිලදී ගැනීමේ දී තවත් යානයක් නොමිලයේම ලැබෙන්නේය. එමෙන්ම ගුවන් යානා පැදවීමේ පුහුණුව පවා එරටින් නොමිලයේම ලැබෙයි.

2006 වසරේ සිට දියුණු කළ මෙම ජෙට් යානය නිෂ්පාදනයන් (වර්ෂන්) 2 ක් තිබේ. ඒ අනුව පළමු නිෂ්පාදනය ඩොලර් මිලියන 16 කුත් 2013 දී නිකුත් කළ දෙවන නිෂ්පාදනය ඩොලර් මිලියන 35 කුත් වන බව එම සමාගමට අදාළ වෙබ් අඩවිවල දැක්වේ. ලබන වසරේ දී නව සංස්කරණයක් ද නිකුත් වීමට නියමිතය. ශ‍්‍රී ලංකාව මිලදී ගැනීමට සූදානම් වන්නේ මින් පළමු කාණ්ඩයේ ගුවන් යනාවන් බවද දැන ගැනීමට තිබේ.

ඉහත කරුණුවලට අනුව මෙම ගනුදෙනුව මඟින් විශාල මුදලක් ශ‍්‍රි ලංකාවට අහිමි වීමට නියමිතය. මෙය නොදැන කරන ගනුදෙනුවක් නොවේ. පාකිස්ථාන සමාගමෙන් මේ ගනුදෙනුව සිදු වීමෙහි වාසිය ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් සහ මෙම දේශපාලන අධිකාරියේ ප‍්‍රබලයන් පූර්ණ අවබෝධයක සිටී. ඒ අනුව මෙම ගනුදෙනුව චීන සමාගම හා සිදු වේ නම් එහි තේරුම මෙහි කොමිස් කුට්ටි කිහිපයක්ම තැන තැන වැටෙන බවය.

මෙම ප‍්‍රහාරක ගුවන් යානය මිලදී ගැනීම සම්බන්ධයෙන් කිසිදු වෙනත් ගැටලූවක් නොමැති අතර එය ඉතා හොඳ තේරීමක් ද වේ.

පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ දී සිදු වූ කූප‍්‍රකට මිග් යානා ගනුදෙනුවද මෙයට සමාන බරපතළ කොමිස් ගනුදෙනුවක් සමඟ වූවක් නමුත් මිලදී ගනු ලැබුවේ නියම නිෂ්පාදන නොව පාවිච්චි කළ යානා හතරකි.

මේ අතර මෙම ගනුදෙනුව හරහා යම් රාජතාන්ත‍්‍රික අර්බුදයක් ද නිර්මාණය වී තිබිණි. ඒ ඉන්දියාව මෙයට එරෙහි වීමය. මීට මාස කිහිපයකට පෙර මෙරටට පැමිණි ඉන්දීය අගමැතිවරයා විසින් මෙම පාකිස්ථානු යානය වෙනුවට ඉන්දියාව මැතක දී නිෂ්පාදනය කළ Tejas Light Combat Aircraft (LCA) සැහැල්ලූ ප‍්‍රහාරක ජෙට් යානා ලබා ගන්න ලෙසද යෝජනා කර තිබිණ.

සැහැල්ලූ ප‍්‍රහාරක යානා වෙළෙඳපොළේ මේ වන විට පවතින තරගකාරී යානා දෙක වන්නේ මෙම JF 17 හා LCA යානා දෙකය. ඒ කෙසේ නමුත් මෙම ගුවන් යානා ගනුදෙනුව හරහා සිදුවීමට නියමිතව ඇතැයි සැක කෙරෙන විශාල කොමිස් ගනුදෙනුව වළක්වා ගැනීම යහපාලනය උදෙසා පෙනී සිටින රාජ්‍ය පාලකයන්ගේ වගකීමකි.


-සුභාෂ් ජයවර්ධන
SathHanda.lk

Share on Google Plus