COMMONWEALTH වංචාවේ මුල, මැද, අග – සුපිරි ගැහිල්ලක්.


මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ලොකුම සුදු අලියකු වූ ව්‍යාපෘතියක් නම් 2018 වර්ෂයේදී මෙරටට පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල (COMMONWEALTH 2018 HAMBANTOTA) ලබාගැනීමට ගත් උත්සාහයය. මෙය මහා පරිමාණ ගසාකෑමක් බවට ජනතාව තුළ වුව වැඩි ඒත්තු ගැන්වීමක් නොවීය. එහෙත් ඒ හරහා විනාශ වූ මුදල අතිවිශාලය. ඒතරම් මුදලක් විනාශ කළේ වැඩකට නැති ව්‍යාපෘතියකට බව පසක් වන්නේ එම ක‍්‍රීඩා උළෙල මෙරටට නොලැබීම නිසාය. ක‍්‍රීඩා උළෙලක් ලබාගන්නට මෙතරම් මුදල් කන්දරාවක් වියදම් කරන්නේ නම් ක‍්‍රීඩා උළෙල කළේ නම් මෙයට කොපමණ ධනයක් වැය වේද යන්න හිතාගැනීමටත් අපහසුය. යහපාලන ආණ්ඩුව එන්නට පෙර කීවේ මහජන මුදල් කොල්ල කෑ අයට තරාතිරම නොබලා දඬුවම් කරන බවය. එහෙත් අදටත් ඔවුන්ට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ග නොපෙනේ.

තමන්ගේ කාලයේ ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩා උළෙලක් පැවැත්වූවායැයි සතුටක් ලැබීම පමණක් රාජපක්ෂලා මේ ක‍්‍රීඩා උළෙල ලබාගැනීමේ අරමුණ නොවේ. එහි අරමුණ මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් හරහා රටේ විශාල ධනස්කන්ධයක් තම හිතවතුන් අතර බෙදා ගැනීමය.

සාමාජිකයෝ

2018 පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල ලබාගැනීමේ අරමුණින් ඇති කළ කමිටුවේ සාමාජිකයෝ මෙසේය. සම සභාපතිවරු දෙපළකි. ඒ හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ය. ඊට අමතරව ඇමති ඩිලාන් පෙරේරා, මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ, ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු, නලීන් ආටිගල, එස්. ලියනගම, උදය සෙනෙවිරත්න, රංජිත් ද සිල්වා, ධම්මික ජයසූරිය, තිසර සමරසිංහ, සෝමතිලක දිසානායක ඇතුළු තවත් සාමාජිකයන් ගණනාවකි. සියලූ සාමාජික ගණන 48කි. මේ කමිටුව ඇතිකිරීමේ අරමුණ ක‍්‍රීඩා උළෙල ලැබෙතැයි සිතා එය ඉටුකිරීමට මුදල් එකතු කිරීමය. කමිටුවේ සාමාජික පිරිස ලොකු ප‍්‍රමාණයක් වුවද එහි සම්පූර්ණ බර කරට ගෙන ඇද්දේ නාමල් රාජපක්ෂ සහ අජිත් නිවාඞ් කබ්රාල්ය. සෙසු අය නමට පමණක් සීමා වූ අතර මහින්දානන්ද අලූත්ගමගේ ද ප‍්‍රධාන භූමිකාවක් දැරීය.

මුදල් ගැරීම

ඒ මොහොතේ පැවති රාජපක්ෂ බල පරාක‍්‍රමය නිසා සෑම ව්‍යාපාරිකයෙකුම නාමල් ප‍්‍රමුඛ පිල මුදල් ඉල්ලූ කල පරිත්‍යාග කළේ එක පයිනි. මෙලෙස මුදල් එකතු කිරීම සඳහා 2010දී ආරම්භ කළ අරමුදල CWG HAMBANTOTA 2018 (PVT) LTD නමින් හැඳින්වේ. මෙහි හිමිකරු භූමිකාව රඟ දැක්වූයේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සහ අජිත් නිවාඞ් කබ්රාල් යන මහත්වරුය. ඒ අනුව මුදල් එකතු කිරීම ඇරඹිණ. මෙහි අපූරුම දේ නම් මෙහි මූල්‍ය තැන්පතු ආරම්භ කරන්නට අජිත් නිවාඞ් කබ්රාල් මහතාද තමන්ගේ පෞද්ගලික මුදල් ආධාර කිරීමය. 2011.01.18 වැනිදා අජිත් නිවාඞ් කබ්රාල් මුදලින්ම රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කළේය. එහෙත් ගැටලූව නම් ඒ මුදල් ලැබුණු බවට කොතැනකවත් සටහන් නොවීමය. ඒ බව තහවුරු වන්නේ මේ පිළිබඳ බැංකුගත කිරිමට අදාළ බැංකු පිළිපත් (BANK SLIPS) පරීක්ෂා කිරීමේදීය. එවැනි බැංකු පිළිපත් නොමැති පරිත්‍යාග ගණනාවක් තිබේ. ක‍්‍රීඩා අමාත්‍යාංශය පරිත්‍යාග කළ රුපියල් 100,000,000ක චෙක්පතෙහි සඳහන් මුදල් ගියේ කොතැනටද? අපනයන සංවර්ධන මණ්ඩලය ලබාදුන් රු.8,000,000ක චෙක්පතෙහි මුදල් ගිය තැනක්ද කොතැනකවත් සවිස්තර නොවේ.SHERMANS LOGISTICS ආයතනය ලබාදුන් රු.8,500,000ක මුදලද ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලබාදුන් රු.10,000,000ක චෙක්පතද PERCEPTUAL ASSEST M A N A G E M E N T ආයතනය ලබාදී ඇති රු.15,000,000ක චෙක්පතෙහි අඩංගු මුදල් කොහි තැන්පත් කළාද යන්න ගැටලූ සහගතය. ඉහත ආයතන මුදල් නොදුන්නායැයි සිතිය නොහැකිය. කබ්රාල් මහතාගේ ලක්ෂය ඇරුණු කොට අනෙක් ආයතන මුදල් ලබාදෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. එසේ නම් මේ මුදල්වලට සිදුවූයේ කුමක්ද?

බොහෝ මුදල් ලැබී ඇති මුත් ඒ පිළිබඳ බැංකුගත කිරීමට අදාළ බැංකු පිළිපත් ලෙජරයේ නොමැත. දැනට ලැබී ඇති ලේඛන සමග සපයා ඇති BANK REGISTER – 2010/11/01 සිට 2013/12/31 දක්වා වූ ලේඛනයේ 1 සහ 2 පිටු ලැබී නැතැයි පැවසේ. 2011/04/12 සිට ලැබීම් සහ ගෙවීම්වලට අදාළ සටහන් පවතී. එහි ලේඛන පරිශීලනය කිරීමේදී එහිDEPOSITයන තීරුවේ එක් එක් රිසිට් මගින් ලැබූ මුදල්, බැංකුගත කිරීම් සිදුවී ඇති ආකාරය පෙන්නුම් කරන අතර, රිසිට් අංක සඳහන් කර නොමැති තැන්පත් චෙක්පත් අවලංගු කිරීමෙන් සහ වෙනත් ආකාරවලින් ලැබී ඇති මුදල් බව පෙනේ.

චෙක්පත් අවලංගු කිරීම නිසා නැවත ගිණුමට තැන්පත් වූ මුදල රු.7,231,458.91 කි. වෙනත් ලැබීම් රු.34,861,309.94කි.
මෙහිදී ඉතා පැහැදිලිම දේ නම් විශාල මුදල් ප‍්‍රමාණයක් ලැබී ඇති බවට රිසිට් පත් ඇතත් ඒවා කොතැනකවත් සටහන් නොවීමය. ඒවා නම් රිසිට් අංක 8 මුදල රු.1,000,000, රිසිට් අංක 18 මුදල රු.200,553, රිසිට් අංක 35 මුදල රු.2,000,000, රිසිට් අංක 43 මුදල රු.200,000, රිසිට් අංක 52 මුදල රු.9,000,000, රිසිට් අංක 53 මුදල රු.1,100,000, රිසිට් අංක 54 මුදල රු.5,500,000, රිසිට් අංක 56 මුදල රු.539,000, රිසිට් අංක 57 මුදල රු.1,100,000, රිසිට් අංක 62 මුදල රු.500,000, රිසිට් අංක 70 මුදල රු.500,000, රිසිට් අංක 72 මුදල රු.2,000,000, රිසිට් අංක 74 මුදල රු.1,000,000, රිසිට් අංක 75 මුදල රු.500,000, රිසිට් අංක 76 මුදල රු.500,000 වශයෙනි. මෙලෙස ලද මුදල්වල එකතුව රු.25,639,553කි. එනම් කෝටි 25කට වැඩි අගයකි.

මෙලෙස එකතු කරගෙන ඇති මුදල්වලින් කොටසක් BEACH GAMES සඳහා වියදම් කොට ඇත. එයද අපැහැදිලිය. එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත්තේ ගුවන් හමුදාවේ සේවයේ නියුතුව සිට විශ‍්‍රාම ගොස් ඇති එල්මෝ පෙරේරා මහතාය. ඔහු හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශයේ සේවයේ නිරත විය. ඒ සඳහා ගෙවා ඇති මුදල්වලින් රුපියල් මිලියන 5කට වැඩි ප‍්‍රමාණයක් මුදල් චෙක් මගින් ගෙවා ඇති බව චෙක්පත්වල පිටසන් අනුව පැහැදිලි වේ.

සමස්ත මුදල

2010දී පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල මෙරටට ලබාගන්නවායැයි පාරම්බාමින් නාමල් රාජපක්ෂ ඇති කළ අරමුදල ඉපැයූ සමස්ත මුදල දැනට ලැබී ඇති තොරතුරු අනුව රු.696,698,358කි. එහෙත් අද එහි ඉතිරිව ඇත්තේ රු.66,941කි. මෙහි රජයේ මුදල් මෙන්ම පෞද්ගලික අංශයේ මුදල්ද පවතී. කොටින්ම මේ බලය අයුතු ලෙස භාවිත කරමින් එකතු කළ මුදල්ය. ඒවා කුමකට වියදම් කළාද? කවුරු ඒ මුදල් ගිල ගත්තාද යන්න සොයාබැලීම යහපාලන ආණ්ඩුවේ රාජකාරියක් නොවේද?

කෝටි 25

මෙහිදී සටහන් නොවන එහෙත් එකතු වී ඇති කෝටි 25ට සිදුවූයේ කුමක්ද? එය නාමල් රාජපක්ෂගේ හිතවතුන් අතර බෙදී ගියාදැයි සොයා නොබලන්නේ ඇයි?

මෙම ව්‍යාපෘතිය තුළ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සමග ඉතාම ළඟින් ක‍්‍රියා කළ පවුලක් නම් වීරරත්න පවුලය. නව පරපුරේ ගායන ශිල්පියකු වන ඉරාජ් වීරරත්න, නාමල් රාජපක්ෂ සමග කරළියට එන්නේ මේ හරහාය. ඉරාජ්ට ඒ තැන හිමිවනුයේ ඉරාජ්ගේ නැගණිය රිෂිනි වීරරත්න නාමල් රාජපක්ෂ මහතාගේ ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයේ උපදේශිකාවක වන නිසාය. 2018 ක‍්‍රීඩා උළෙල මෙරටට ලබාගැනීම සඳහා වූ ක‍්‍රියාවලියේ කාර්යභාරයෙන් කොටසක් ඇයට අයත් THE LIFE STYLE LTD සමාගම වෙත පැවරී තිබුණි. එසේ නම් එම ආයතනයට කළ ගෙවීම් කොතැනකවත් සටහන් නොවන බැවින් ඉහත කෝටි 25 ගියේ ඒ ආයතනයටයැයි සිතිය නොහැකිද?

2011/05/30 දින චෙක්පත් අංක 486679 මගින් රු.9,048,082ක මුදලක් W I Z C R A F T I N T E R N AT I O N A L ENTERTAIMENT නමැති ආයතනයට ගෙවා ඇති අතර ඇය එම ආයතනයේ සේවය කර ඇති බවද තොරතුරුවලින් හෙළිවී ඇත.

මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් සිදුවන බවට තොරතුරු ඇතත් ඒ පරීක්ෂණ කටයුතු සිදුවනවාද එසේ නැතහොත් එය යට ගසා ඇත්දැයි ගැටලූ සහගතය. ඡුන්දයට පෙර අපරාධවලට තිත තබන බව කී ජනපති දැන් ඒවා නොදැක්ක ගානට සිටිනුයේ කෙසේද? ජාතික ආණ්ඩුවට මෙවැනි මුදල් නාස්ති පිළිබඳ සොයා බලා ඒවාට හවුල් අයට එරෙහි ක‍්‍රියාකිරීමේ ජාතික වගකීමක් නැද්ද?


-රාවය

Share on Google Plus