ඇමැතිකමෙන් යන්නෙත් නෑ - ගෝඨා අත්අඩංගුවට ගන්නෙත් නෑ.


ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමාට එල්ල කරන චෝදනා පදනම් විරහිත ඒවා නිසා තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බවත් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කීය.

එමෙන්ම තමා ඇවන්ගාඩ් සමාගම සමඟ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් ඒ පිළිබඳ තමාට චෝදනා එල්ල කිරීම කේ‍රා්ධය ඉහවහා ගිය සමාජවාදීන්ගේ මානසික උන්මාදයක් බවත් විජයදාස රාජපක්ෂ මහතා කීය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු මෙසේද කීය.

මේ සම්බන්ධයෙන් මට චෝදනා කරන්න තරම් පුංචි හේතුවක්වත් නැහැ. මම ඇවන්ගාඩ් සමාගම වෙනුවෙන් කවදාවත් කතා කරලා නැහැ. මම එදා පාර්ලිමේන්තුවේදී කතා කෙළේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන්. ඒ මම කියපු දේවල් 100%ක්ම නිවැරැදියි. මගේ අමාත්‍යාංශය යටතේ තියෙන දෙපාර්තමේන්තුවක් වන නීතිපති දෙපාර්තමේන්තුව නිවැරැදි දේ කරලා තියෙනවා නම් ඒ රජයේ නිලධාරීන්ට ආරක්ෂාව ලබාදීම මගේ වගකීමක්. ඒ උදවියට විපක්ෂයේ මිනිස්සු ගහන එක සාමාන්‍ය දෙයක් වුණත් ආණ්ඩුවේ මිනිස්සුත් ඒ අයට ගහන්නේ රට අරාජික කරන්නයි. ඒකට ඉඩ දෙන්න බැහැ. මගේ ස්ථාවරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

අධිකරණ අමාත්‍යාංශයේ කිසිම පරීක්ෂණයක් කරන්නේ නැහැ. පරීක්ෂණ කරන්නේ පොලිසියෙන්. ඒ නිසා මම ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නැහැ. පසුගිය කාලේ හැට හැත්තෑදාහක් මරලා දාපු මිනීමරුවන්ගේ උපදෙස් මම ගන්නේ නැහැ. ඒ අය කොහොම කිව්වත් මම වැරැදි කරලා නැති නිසා ඇමැතිකමෙන් අයින් වෙන්න තරම් මොළේ අමාරුවක් මට නැහැ. මම දිගටම මේ ඇමැතිධුරයේම ඉන්නවා. ඇමැතිකම මාරු කරනවා කියලා තීරණයක් මට දැනුම් දීලා නැහැ. එහෙම වුණොත් ඒ ගැන ඒ වෙලාවට බලාගමු.

කවුරු මොනවා කිව්වත් මම නිවැරැදියි. මට කරන චෝදනා වැරැදියි. ඒ හින්දා මට ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඒ කාලේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හොඳයි. එයා තමයි රට බේරගත්තේ කියලා කියපු ඇමැතිවරු තමයි අද කියන්නේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න ඕන කියලා. ඒ අත්අඩංගුවට ගන්න කියන්නෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. ත්‍රස්තවාදය රටෙන් තුරන් කරන්න ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දුන්නා කියලා අපි දේශපාලන භේදයකින් තොරව පිළිගන්න ඕන. එයාව ත්‍රස්තවාදියෙක් කරන්න කියලා තමයි ඔය ඇමැතිලයි, අනුර කුමාරලයි කියන්නේ. මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද ඔහු සටන් කෙළේ රට වෙනුවෙන්' යැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

Share on Google Plus