ආණ්ඩුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමාව ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැත.


කොයියම් ආකාරයක හෝ නිදහසට කරුණු කිව හැකි වුනත් පසුගිය දා ශිෂ්‍ය පෙළපාලියකට හා උදඝෝෂණයකට එල්ල කළ පොලිස් පහරදීම කිසිසේත්ම අනුමත කළ නොහැක. අවම වශයෙන් එම ප්‍රහාරය නීතියේ සදහන් පරිදි අවම බලය පාවිච්චි කිරීමක් හෝ නොවේ. එය මුළුමනින්ම පදනම් වී තිබුනේ පොලීසියේ පරපීඩක කාමුකත්වය තෘප්ත කර ගැනීම මත ය. එළව එළවා පහරදීමත් බිම වැටුන පසුව පහරදීමත් අවම බලය පාවිච්චි කිරීමක් නම් ශ්‍රී ලංකා පොලීසියට සිවිල් පාලනය යනු කුමක්දැයි මුල සිට ඉගැන්විය යුතුය. දීර්ඝ කාලයක් තිස්සේ සිවිල් පාලනයෙන් තොරව හදිසි නීතියෙන් හා මර්දනීය ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති වලින් ගොඩනගා ගත් සංස්කෘතියක හැදුනු වැඩුන පොලිස් දෙපාර්තමේන්තුවට මෙම ප්‍රහාරය සරළ අත්දැකීමක් විය හැකිය. එහෙත් නීතියේ ආධිපත්‍යය හා මානව අයිතීන් වලට කළ යුතු ගෞරවය ඉල්ලා සිටි සමාජයකට මෙය තිරිසන් ප්‍රහාරයකි. ඒ නිසාම ගනුදෙනුව බේරා ගත යුත්තේ පොලිස් නිලධාරීන් සමග නොවන අතර යහ පාලනයක් සදහා ප්‍රතිපත්ති ඉස්මුරුත්තේ යවමින් වේදිකාවන්හි කෑ ගැසූ දේශපාලකයන් සමග ය.

ජනාධිපතිවරණයට පසුව පෙළපාලියකින් පැමිණ උද්ඝෝෂණයක යෙදුනු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට මෙලෙසින්ම පොලීසිය පහරදුන් විට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කීවේ තමන්ගේ අනුදැනුමකින් තොරව මෙම ප්‍රහාරය සිදුවී ඇති බවයි. එහෙත් එය එසේනම් නිලධාරීන්ගේ තීරණයක් මත මානව අයිතීන් කඩ කළ පොලිසියට එරෙහිව පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන අන්දමක් දකින්නට නොලැබුණි.

එය එසේ තිබියදීම මෙවර ද ශිෂ්‍ය උදඝෝෂණයකට නැවතත් තිරිසන් ලෙස ප්‍රහාර ඉල්ල කිරීම ආණ්ඩුවේ බිය සුළුකම ප්‍රදර්ශනය කිරීමකි. ලැජ්ජා නැතිකම වන්නේ නැවතත් පෙර පරිදිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා සිටීමයි. මානව හිමිකම් රැක ගන්නට උනන්දුවක් ඇත්නම් රාජපක්ෂ යුගයේ සිදුවූ දෑ නැවත සිදුවීමට ඉඩක් නොදෙන්නේ නම් කළ යුත්තේ වාර්තා ඉල්ලමින් කාලය කා දැමීම නොවේ. දැන් හැටේ දශකයේ මෙන් තාක්ෂණය නොදියුණු මට්ටමක නැත. ජනමාධ්‍ය හා සමාජ ජාල මගින් සිදුවූයේ කුමක්දැයි තේරුම් ගත හැකිය. විධිමත් පරිදි පරීක්ෂණයක් පවත්වා වරදකරුවනට දඩුවම් දෙන තෙක් අවම වශයෙන් ප්‍රහාරයට වගකිව යුතු ඉහළ පොලිස් නිලධාරීන්ගේ වැඩ අත්හිටුවිය හැකිය. එසේම මෙවැනි ප්‍රහාරයක් දේශපාලන අධිකාරියේ අනුදැනුමකින් තොරව සිදුකිරීමට තරම් ශ්‍රී ලංකා පොලීසියට පිට කොන්දක් නොමැත. ඒ නිසා නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශ ලේකම්වරයාත් අමාත්‍යවරයාත් තනතුරින් ඉවත් කළ යුතුය.

එහෙත් ආණ්ඩුවේ හොද නම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ගත හැකි ක්‍රියාමාර්ග අපමණ තිබිය දී “වාර්තා කැදවමින්” කාලය කා දමමින් විනෝදවීම ජුගුප්සාජනකය. මෙම ප්‍රහාරය සිවිල්නාමධාරී පුද්ගලයකුට එල්ලවූවා නම් මේ වනවිටත් සියළු පියවර ගෙන අවසන්ය. එහෙත්පහත් තැනින් ජලය ගලා යන්නා සේ විරෝධතාවකට එරෙහිව විශේෂයෙන් ශිෂ්‍යාවන්ට පවා තිරිසන් ලෙස ප්‍රහාර එල්ල කර තිබිය දී ආණ්ඩුව තවමත් මුනිවත රකී.

ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මේ කිසිවක් නොදැක්කා සේ මුනිවත රකින අතර ආණ්ඩුවෙ සෙසු වගකිවයුතු දේශපාලකයෝ ද මුනිවත රකිති. හවුල් ආණ්ඩුවේ සහකරු වන එක්සත් ලංකා නිදහස් සංධානය ක්ලාන්ත වූවා මෙන්ය. සැබෑ විපක්ෂය තමන් යැයි කියා ගන්නා වර්ගවාදීන් ද තව සියවසකින් එල්ල වන විදෙස් ප්‍රහාරයකට සූදානම් වෙන අතර ස්ථාපිත කරනවා යැයි කියන හයිබ්‍රිඩ් අධිකරණයෙන් අහෝසි වෙන අනන්‍යතා කන්‍යාපටලය ගැන ශෝක වෙමින් සිටී. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රවෘත්ති නිවේදනයකින් සන්සුන් වී සිටීම කනගාටුදායකය.

රාජපක්ෂ රෙජීමය පෙරලා දමමින් අලුත් ආණ්ඩුවක් බිහිකළේ කීයක් හෝ හම්බකරගෙන සන්තෝසෙන් ජීවත් වෙන්නට යැයි පාලක පක්ෂයේ දේශපාලකයන් සිතනවා දෝයි සැකසහිතය. එහෙත් දේශපාලන නිහඩබව ශබ්ද නගන්නේ “ඕව ඔහොම තමයි” කියන්නට මෙනි. ඒ නිසා පොලිස් ප්‍රහාරය ඉවසමින් නොදැක්කා සේ සිටීමට බොහෝදෙනෙක් ලොල් කරන බව පෙනේ.

ලාංකික ශිෂ්‍ය දේශපාලනය නොමේරූ නොගැඹුරු ආවේගජනක සටනකි. ඊට ගැඹුරක් හෝ පෘථුල බවක් හෝ නොමැත. විශේෂයෙන් දේශපාලනිකව පෝෂණය නොවේ. ඒ නිසා යල් පැන ගිය සටන් පාඨ වලින් ද ළාමක තර්ක වලින් ද ශිෂ්‍ය සටන් පෝෂණය වී ඇත. හරවත් හා ගැඹුරු දේශපාලනයක් මත ගොඩනැගුණ ආචින්නකල්පිත නොවූ දෘෂ්ඨියකින් එය බැහැරට ගොස් ඇතිවා මෙන්ම සම්ප්‍රදායි සටන් ක්‍රම වලින් විනාශකාරීත්වය කරා ගමන් කරමින් සිටී.

එහෙත් මේ ශිෂ්‍ය දේශපාලනයේ බොළදකම අවලංගු කිරීමට පාලකයන් අපොහොසත් නිසා මර්දනය හැර වෙනත් දියුණු දේශපාලන ක්‍රමවේදයක් ශිෂ්‍ය සටන් සම්බන්ධයෙන් ආණ්ඩු විසින් අනුගමනය කරන්නේ නැත. නමුත් ශිෂ්‍ය සටන් අතාර්කික වූ පළියට රාජ්‍යයේ මර්දනය සාධාරණ ක්‍රියාවක් ලෙස පිළිගත හැක්කක් නොවේ. ඒ නිසා ශිෂ්‍ය අරගලයන්ට එරෙහිව එල්ල වූ නින්දිත පොලිස් ප්‍රහාරය බියසුළු දේශපාලන ක්‍රියාවක් බව පැවසිය යුතුමය.

ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් දේශපාලනික වශයෙන් ලැජ්ජාවක් ඇත්නම් කළ යුත්තේ රාජපක්ෂ සංස්කෘතිය වර නැගීම නොව තමන් පෙනී ඉන්නේ අලුත් දේශපාලනික සංස්කෘතියක් වෙනුවෙන් බව හඩ දී ප්‍රකාශ කිරීමයි. ඒ සදහා තිරිසන් පොලිස් ප්‍රහාරයට වගකිවයුතු පොලිස් නිලධාරීන්ට දඩුවම් කළ යුතු අතර ඊට වගකිවයුතු නීතිය හා සාමය පිළිබද විෂයභාර අමාත්‍යවරයා තනතුරින් ඉවත් කළ යුතුය. ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් පහරකෑමට ලක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමාව ගත යුතු අතර ඔවුන්ගේ දෙමව්පියන්ට කණගාටුව ප්‍රකාශ කළ යුතුය. ශාරීරික හා භෞතික වශයෙන් හානි වූ සියල්ලන්ට වන්දි ගෙවිය යුතුය.

මේ හැරෙන්නට මේ තිරිසන් සංස්කෘතිය ආපසු හැරවීම සදහා ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැත.

කේ.ජී.පිලිප් ශාන්ත
shan.info1978@gmail.com

Share on Google Plus