විමල් එජාපයේ කොන්ත්‍රාත්කාරයෙක්‌?


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් කොටසක්‌ කඩාගෙන තවත් පක්‍ෂ දහයක්‌ සමග ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනම පෙරමුණක්‌ ලෙස තරග කරන බවට විමල් වීරවංශ මහතා කරන ප්‍රකාශය තුළින් එක්‌සත් ජාතික පක්‍ෂයේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටුකිරීමට ඔහු සූදානම් වන බව පැහැදිලි යෑයි මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ඊයේ (6 දා) පැවැසීය.

වැඩි දුරටත් කරුණු දැක්‌වූ ඩිලාන් පෙරේරා ඇමැතිවරයා ව්‍යාජ ගමන් බලපත්‍රයක්‌ ළඟ තබාගත් බවට චෝදනා එල්ල වූ විමල් වීරවංශ මහතා බේරා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සීමාව ඉක්‌මවා මැදිහත් වූවේ ඇයි ද යන ප්‍රශ්නයට දිය හැකි හොඳම පිළිතුර විමල් වීරවංශ මහතාගේ මෙම ප්‍රකාශයයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කෑලි කෑලිවලට කඩලා විනාශ කර දැමීමේ උවමනාව තියෙන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයටයි. දැන් එක්‌සත් ජාතික පක්‍ෂයේ එම කොන්ත්‍රාත්තුව විමල් වීරවංශ මහතා භාරගෙන තිබෙනවා.

විමල් වීරවංශ මහතාටයි කුමාර ගුණරත්න මහතාටයි එල්ල වී තිබෙන්නේ එක හා සමාන චෝදනාවකුයි. නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විමල් වීරවංශ මහතා බේරා ගැනීමට සීමාව ඉක්‌මවා මැදිහත් වුණත් කුමාර් ගුණරත්න මහතා බේරා ගැනීමට කිසිම දෙයක්‌ කළේ නැහැ.

එමනිසා විමල් වීරවංශ මහතා නටන්න හදන නාඩගම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන් අවදියෙන් සිටිය යුතුයි යෑයි ද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

Share on Google Plus