ගෝඨාගේ රහස් ම්ලේච්ඡ වධකාගාර එළියට.


වධ හිංසා පමුණුවමින් පුද්ගලයන් රඳවාගෙන වධ දෙන රහසිගත සිර කදවුරු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ යටතේ පවත්වාගෙන යනු ලැබූ බව එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් තහවුරු කරන ලදී.

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ පිහිටි එයින් එක් රහසිගත වධකාගාරයක් දැක බලා ගැනීමට තමන් ගිය බව ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීම් පිළිබඳ සොයා බැලිම සදහා පසුගියදා දිවයිනට පැමිණි බලහත්කාරයෙන් හෝ නොකැමැත්තෙන් හෝ අතුරුදහන් කරනු ලැබුවන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව සිය නිරීක්ෂණ කටයුතු නිමා කරමින් 18 බදාදා කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ හෙළිදරව් කළේය.


  • ‘ගෝටාස් කෑම්ප්’:

ගාල්ල – බූස්ස රඳවා තබා ගැනීමේ කදවුරටත් රහස් පොලිසියේ හයවැනි තට්ටුවටත්, ත්‍රස්ත විමර්ශන ඒකකයේ හය වැනි තට්ටුවටත් අමතරව ත්‍රිකුණාමලයේ නාවික හමුදාවට අයත් රහසිගත කදවුර නිරික්ෂණය කිරිම සදහාද තමන් ගිය බව පැවසු එම කණ්ඩායමේ ප්‍රධානී බර්නාඩ් ඩුහේම් එම ස්ථානය තුළ දිගු කලක් තිස්සේ පුද්ගලයන් රදවා තබා ගත් බවට තොරතුරු අනාවරණය වු බව පැවසීය.

කෙසේ වෙතත්, තමන්ට නිරීක්ෂණය කිරිමට හැකි වූයේ එම කදවුරේ කොටසක් පමණක් බව කණ්ඩායමේ සාමාජික ඒරියල් දුලිට්ස්කි පවසා සිටියේ ය.

එම නිරික්ෂණය තුලදී කදවුරේ බිත්ති වල ඉතාම මෑත දින ලෙස 2010 වසරේ දින සටහන් ඉතා පැහැදිලිව දැක ගන්නට හැකිවු බව පැවසු ඔහු පලදායී ලෙස පරීක්ෂණයක් පවත්වන ලද්දේ නම් ජීවිත කිහිපයක්ම බේරා ගැනීමට ඉඩ තිබු බව ප්‍රකාශ කළේය.


  • රහසිගත සිරකඳවුර සොයා ගැනීම වැදගත් :

පලදායී නීති ක්‍රියාවලියක් නොතිබුණු නිසා සමහර ජීවිත විනාශ වී ඇති බවට චෝදනා කළ ඔහු දැනට දැනගන්නට තිබෙන පරිදි එහි රඳවා තබනු ලැබුයේ 11 දෙනකු පමණක් බවට රජයේ ආරක්ෂක අංශ විසින් කරන ලද ප්‍රකාශ නො පිලිගනිමින් සදහන් කළේ එහි ඇති කුටි සංඛ්‍යාවත්, එය පාවිච්චියට ගන්නා ලද අවුරුදු ගණනත් සැලකිල්ලට ගත් කල, ඊට වඩා බොහෝ දෙනා එහි රඳවා තබා ගත් වග පැහැදිලි වන බවයි.

ඒ අනුව ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරේ රහසිගත සිරකඳවුර සොයා ගැනීම වැදගත් හෙළිදරව්වක් බව ඒරියල් දුලිට්ස්කි ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කර සිටියේ ය.

එම කණ්ඩායමේ සාමාජික තේ උන් බයික් ප්‍රකාශ කර සිටියේ මෙම රහසිගත සිර කඳවුර මුලින් පවත්වාගෙන ගොස් ඇත්තේ අවි ගබඩාවක් ලෙසින් බවයි.

විශේෂඥ කණ්ඩායමේ නායක බර්නාඩ් ඩුහේම් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ සිරගත කරනු ලැබුවන් දීර්ඝ කාලයක් රඳවා තබා ගන්නට ඇති බවට විශ්වාස කළ හැකි සාක්ෂි තමන්ට හමුවූ බවයි.

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ ‘ගෝටාස් කැම්ප්’ ඇතුළු රහසිගත වද කඳවුරු රජයේ සන්නද්ධ සේනා විසින් පවත්වාගෙන යන බව අතුරුදහන්වුවන්ගේ ඥාතීන් හා මානව හිමිකම් සංවිධාන තොරතුරු ඉදිරිපත් කොට තිබුනත් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.


  • සමූහ මිනී වලවල් :

මන්නාරමේ සහ මාතලේ සමූහ මිනී වලවල් නිරීක්ෂණය කිරීමටත් එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය ගොස් තිබේ.

එම සමූහ මිනී වලවල් වලට ආරක්ෂාව සලසා ඇති ආකාරයත්, එහි තිබී හමුවූ නියැදි සහ සාක්ෂි සම්බන්ධයෙන් කටයතු කළ ආකාරයත් පිලිබඳ ‘පැහැදිලි ගැටළු’ හඳුනාගත හැකි බව විශේෂඥ කණ්ඩායම පවසයි.

කැනීම් සහ හඳුනාගැනීම් කටයුතු වල නිරත අයගේ වෝහාරික හැකියාවන් දියුණු කිරීමේත්, අපරාධ පරීක්ෂණයක් පැවැත්වීමේත් අවශ්‍යතාව ඔවුන් විසින් අවධාරණය කොට තිබේ.

අතුරුදහන් වුවන් සොයා ගැනීම පරිපුර්ණ රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙසින් පිළිගෙන කටයුතු කළහොත් තවත් සමූහ මිනීවළවල් හමුවීමේ ඉඩකඩක් ඇති පවසන එක්සත් ජාතීන්ගේ කණ්ඩායම, ඒ සඳහා වෘත්තීය නිපුණතාවෙන් යුත් විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීම ගැන රජයට යෝජනා කර ඇත.

ඒ සඳහා වන ආයතන රජයේ ආරක්ෂක අංශ සහ පොලිසියෙන් ස්වාධීනව පවත්වාගෙන යායුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

නෑසියන් පිලිබඳ සත්‍යය දැන ගැනීමට ශ්‍රී ලාංකිකයන් පමණට වඩා කල් ගත කොට ඇති බව පවසන එජා විශේෂඥ මණ්ඩලය ඔවුන් සොයා ගැනීම සඳහා පවත්වන පරීක්ෂණ අලුතින් පිහිටුවන ලබන ස්වාධීන මණ්ඩලයක් විසින් සිදු කළ යුතු බව ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර සහභාගිත්වයෙන් පවත්වා ගෙන යා යුතු එම මණ්ඩලයක් ඕනෑම රාජ්‍ය ආයතනයකට ඇතුල් වීමටත් රාජ්‍ය ලේඛණ පරීක්ෂා කර බැලීමටත් බලය තිබිය යුතු යැයි නිර්දේශ කර ඇත.

අතුරුදහන් වීම් පිළිබඳව සොයා බලන්නට ජනාධිපති විසින් හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම ගේ මුලිකත්වයෙන් පත් කරන ලද කොමිසමද හමුවූ එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය පවසන්නේ එය පීඩාවට පත් අයගේ අභිලාෂයන් ඉටු කරන්නට සමත් වී නැති බවයි.

රජය විසින් 1991 සිට පත් කරන ලද කොමිසම් 11 කට වැඩි සංඛ්‍යාව අතරින් සමහරක් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වග කිව යුත්තන් හඳුනාගෙන ඇතත්, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ පවත්වා දඬුවම් දීමට පියවර ගෙන නැති බවත් විශේෂඥ මණ්ඩලය විසින් පෙන්වා දී තිබේ.

එම කණ්ඩායමේ සාමාජික තේ උන් බයික් ප්‍රකාශ කර සිටියේ මෙම රහසිගත සිර කඳවුර මුලින් පවත්වාගෙන ගොස් ඇත්තේ අවි ගබඩාවක් ලෙසින් බවයි.

විශේෂඥ කණ්ඩායමේ නායක බර්නාඩ් ඩුහේම් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ සිරගත කරනු ලැබුවන් දිගු කාලයක් රඳවා තබා ගන්නට ඇති බවට විශ්වාස කළ හැකි සාක්ෂි තමන්ට හමුවූ බවයි.

-SLM

Share on Google Plus