චෝගුල් - ජ'පුර එක්වෙයි.


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ ඉන්දියාවේ ගෝවාහි පාර්වතිබායි චෝගුල් විශ්ව විද්‍යාලය(Parwathibai Chowgule College of Art & Science,India) අතර අවබෝධතා ගිවිසුමක් පසුගිය 24 දා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී අත්සන් කෙරිණි.එයට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශය මගින් සංවිධානය කරනු ලැබූ 2015 ඉන්දියානු - ශ්‍රී ලංකික අධ්‍යාපනික හුවමාරු වැඩසටහන පසුගියදා පැවත්විණි.ඒ සඳහා ඉන්දියාවේ පාර්වතිබායි චෝගුල් විශ්ව විද්‍යාලය භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ නියෝජිත පිරිසක් සහභාගී වූහ.

මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග,මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ පීඨාධිපති ලසන්ත නවරත්න,විශ්ව විද්‍යාල ලේඛාකාධිකාරී කේ.ජී බ්‍රිටෝ,ඉන්දියාවේ පාර්වතිබායි චෝගුල් විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධාන මහාචාර්ය අනගා ඩිකෝල්කා යන මහත්ම මහත්මීන් ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධාන මහාචාර්ය සුනේත්‍රා තෙන්නකෝන් මහත්මිය ද අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම සමාජිකයින් හා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මේ සඳහා සහභාගී වූහ.මෙම වැඩසටහනේ එක් අංගයක් ලෙස ලංකා පර්යේෂණ සමුළුවක් ද පවත්වන ලදී.මෙම සමුළුව පුජ්‍ය ආචාර්ය පින්නවල සංඝසුමන ස්වාමීන් වහන්සේගේ සමායෝජකත්වයෙන් සිදුකළ අතර එහිදී ප්‍රජා සංවර්ධනය හා පරිසර කළමණාකරණය යන ක්ෂේත්‍රයන්ට අදාළ පර්යේෂණ ලිපි ඉදිරිපත් විය.

මෙම වැඩසටහනට සමගාමීව සංස්කෘතික උළෙලක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා පාර්වතිබායි චෝගුල් විශ්ව විද්‍යාලයේ  භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් ඊයේ දින (27) විශ්වවිද්‍යාලීය ශ්‍රී සුමංගල මන්දීරයේදි උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.







Share on Google Plus