මේක සිංහල රට නම්, දෙමළා වෙනම රටක් ඉල්ලීම සාධාරණයි.


ජාතිය කියන වචනෙට ඉංගී්‍රසියෙන් කියන්නේ Nation කියලා. ඒක හැදිලා තියෙන්නේ ලතින් භාෂාවේ Nation කියන වචනය මුල්කරගෙන. ඒකෙ තේරුම උත්පත්තිය යන්නයි. ඒ අර්ථයෙන් ගත්තහම ජාතියක් කියලා කියන්නේ රටක උපදින සියලුම දෙනා කියලා කියන්න පුළුවන්. ඒ වුණාට දේශපාලන විද්‍යාත්මකව ජාතිය කියන්නේ 'නිශ්චිත දේශ සීමාවක් තුළ දේශපාලන වශයෙන් සංවිධාන වූ ජන කොටසට.' දේශපාලන වශයෙන් සංවිධානය වීම කියන එකේ අර්ථ දෙකක් තියෙනවා.

1. දේශපාලන වශයෙන් සංවිධානය වූ සහ රාජ්‍යයක් ලෙස සංවිධානය වූ නිදහස් ජන කොටස

2. දේශපාලන නිදහස නැති ඒත් දේශපාලන නිදහස දිනා ගැනීමට රාජ්‍යයක් වශයෙන් සංවිධානය වීමට ආශාවෙන් සිටින ජන කොටස

ජාතියක් වෙන්න නම් දේශපාලන වශයෙන් සංවිධාන ගත වීම අනිවාර්යයෙන් වෙන්න ඕන. ඉන්දියාවේ ජාතිය ගොඩනැඟීම සිද්ධ වුණේ ඉන්දියානු නිදහස් සටනත් එක්ක. සොළොස් මහා ජනපදවල එකිනෙකට වෙනස් පාලනයත් බුද්ධ කාලයේදීත් තිබ්බ කියල අපි අහල තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉංගී්‍රසීන් ඉන්දියාවට එනකොට ඉන්දියාවේ තිබුණෙත් මහා රාජාවරුන්ගේ ප්‍රාදේශීය පාලනයන්. ඒ පාලනයක් එකට එකතු කරලා මේ තරම් භූමියෙන් විශාල රටක් ජාතියක් වශයෙන් එකතු කරපු ජාතික නායකයෝ ඉන්දියාවට හිටියා. ඒ ජාතික නායකයා මොහන් දාස් කරම්චන්ද්‍ර මහත්මා ගාන්ධි, ලගාන් ෆිල්ම් එකේ අමීර් ඛාන් අඩු කුලයේ මනුස්සයාගේ ඉඳලා එකට එකතු කරලා සුද්දන්ට විරුද්ධව ක්‍රිකට් මැච් එක දින්න වගේ ගාන්ධි මුළු ඉන්දියාවම එකතු කරලා නිදහස ගත්තා. ඒ හින්දා ඉන්දියාවේ ජාතිය නිර්මාණය වුණේ නිදහස් අරගලය වෙනුවෙන්. නිදහස ගත්තට පස්සේ මොහොමඩ් අලිජින්නා පාකිස්තානය බිහි කළාට එතැනින් පස්සේ ඉන්දියාව එකට එකතු කරලා තියාගන්න ඉන්දියානුවන්ට හැකි වුණා.

නිදහසින් පස්සේ වුණත් ඉන්දියාව ශ්‍රී ලංකාව වගේ වරද්ද ගත්තේ නෑ. ඒ රටේ ජාතික නායකයා ගාන්ධි. ගාන්ධි දේශපාලනයට ආවේ නෑ. දේශපාලන නායකයා වුණේ ජවහර්ලාල් නේරු. ඒ වගේම ඉන්දියාවේ ශාස්ත්‍රීය නායකයා රවීන්ද්‍රනාත් තාගෝර්. තාගෝර් දේශපාලන බලය ඉල්ලුවෙත් නෑ. ඉන්දියාවේ ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ පුරෝගාමියා අම්බෙඩ්කාර්. දේශපාලනය නොකරපු අම්බෙඩ්කාර් ඉන්දියාවේ එවකට සිටි බුද්ධිමතුන්ගෙන් එක් කෙනෙක්. ඒ බුද්ධිමතුන් බුද්ධිමත්ව හිතල හදපු ව්‍යවස්ථාව තවමත් ඉන්දියාවේ ක්‍රියාත්මක වෙනවා. හින්දූන් බහුතරයක් ඉන්න රටේත් ව්‍යවස්ථාවට ආගමික වගන්ති ඇතුළත් නොකිරීමට තරම් ඉන්දියාව බුද්ධිමත් වුණා. ඒ හින්දා භූමියෙන් කුඩා ශ්‍රී ලංකාවට වඩා භූමියෙන් අති විශාල ඉන්දියාව ප්‍රබලයි. එහෙම වෙන්න එක හේතුවක් වුණේ ජාතියක් ලෙස ඉන්දියාව ගොඩනැඟීමයි.

යටත්විජිත ශ්‍රී ලංකාවේ ඉඳලම තිබුණේ වාර්ගික, ආගමික, කුල භේදයන්. මිනිස්සු මනසින් නොදියුණු සමයක එවැනි සංකල්ප හිතට ගන්න පුළුවන්. නමුත් අද ලෝකය කොච්චර දියුණුද? එහෙම පසුබිමකත් ශ්‍රී ලංකාවේ ජාතිය ගොඩනැඟීම සිදු වෙන්නේ නෑ. 'මේ සිංහල අපගෙ රටයි' කියන සංකල්පයම වැරැදියි. මේක සිංහල රට කියලා කියනව නම් දෙමළා වෙනම රටක් ඉල්ලීම සාධාරණයි. අවුරුදු 30ක් ජාතියක් හැටියට පරාධීන වෙනකම්ම අපි ඇතුළෙම ගහ ගත්තා. ඒ අතර වේලාසනින්ම වර්ණ භේද වාදය ඉවර කරපු ඇමෙරිකාවේ කල්ලෙක් ජනාධිපති වුණා. ඉන්දියාවේ සික් ජාතිකයෙක් වෙච්ච මන්මෝහන් සිං අගමැති වුණා. ඒ හින්දා ශ්‍රී ලංකාව සිංහල රටක්ය යන සංකල්පය මතම තවත් ඉදිරියට යන්න උත්සාහ කළොත් අපිට ජාතියක් හැටියට යන්න වෙන්නෙ පස්සට. හැමෝම තමන්ගේ අනන්‍යතා ඒ විදියටම තියා ගමු. විවිධත්වය ආශීර්වාදයක් කරගමු. ගව මස් කෑමට විරුද්ධව ගෙන යන මතවාද වාර්ගික හා ආගමික විරෝධයක් මත පදනම් වුවහොත් හරක් මැරෙනවාට වඩා මිනිස්සු මැරෙන්න ඉඩ තියෙනවා. මිනිසුන්ගේ ආහාර සංස්කෘතියක් වෙනස් කරන එක පහසු නෑ. හරියට සිංහලයන්ට අවුරුද්දට කැවුම් උයන්න එපා කිව්වොත් මොකක්ද වෙන්නේ කියලත් හිතල බලන්න ඕන. ඒ හින්දා මේ නිමේෂය තියෙන්නෙ බිඳවැටුණු ජාතිය නැවත ගොඩගැනීමට. ලෝකෙ ගොඩාක් රටවල් විවිධත්වය ඛේදවාචකයක් කරගන්නවා වෙනුවට විවිධත්වය ආශීර්වාදයක් කරගෙන දියුණුව කරා ගමන් කරපු හැටි චුට්ටක් හැරිල බලන්න පුළුවන්නම් ලොකු ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන්.


-හේමප්‍රිය කවිරත්න
Mawbima Young
Share on Google Plus