ඊළඟට වෙන දේ.. සාත්තරයකින් හෙලිවේ.


මමත් ගියා සාත්තරයක් අහන්න, මේ දේශපාලනේ මොනවද වෙන්නේ කියලා...

සාත්තර නම ඇසු පමණින්ම අපට සිහියට නැගෙන්නේ පසුගිය ජනාධිපතිවරණයයි. ශ්‍රී-ලංකා දේශපාලන ඉතිහාසයේ අළුත්ම පිටුවක් පෙරලමින් පසුගිය ජනාධිපතිවරණය පැවැත්විණි. මෙම ජනාධිපතිවරණ කාලය තුල විවිධ ආකාරයේ පුද්ගලයින් විවිධ ආකාරයේ අනාවැකි ප්‍රකාශ කළ අතර අවසානයේ දී මෙම සාත්තර පිළිබඳ තොරතුරු ප්‍රධාන මාධ්‍ය නාලිකා ඔස්සේ ප්‍රචාරය කිරීමේ තත්වයක් දක්වා මෙම සාත්තර ඇසීම ජනප්‍රිය විය.

මීට දින කිහිපයකට පෙර මා ද ඔය කියන ආකාරයේ සාත්තරයක් ඇසීමට ගියමි. එයට ප්‍රධාන හේතුව අප කිසිවෙකුටත් වත්මන් දේශපාලන වාතාවරණය තුල සිදුවන්නේ කුමක් ද යන්න පිලිබඳ පැහැදිලි අදහසක් දක්නට නොලැබුනු නිසාවෙනි.

මේ අනුව මාගේ මිතුරෙකු ලබාදුන් තොරතුරකට අනුව කැළණිය ප්‍රදේයේ සිටින දේවාරුඪයෙන් සාත්තර කියන කපු මහතෙකු හමු වීමට ගියෙමි.

කපු මහතා හමුවීමට බොහෝ දෙනෙකු පැමැණෙන බව දැන්වූ නිසාවෙන් උදෑසන 6.00 වන විට එම ස්ථානයට යාමට කටයුතු කළෙමි. මධ්‍යම ප්‍රමාණයේ පැරණි පන්නයට සාදා තිබූ මධ්‍යම ප්‍රමාණයේ ගෙයක් වූ අතර කපු මහතා‍ගේ දේවාලය නිවසින් එලියේ වෙනනම සෑදූ කුඩා කොටසක පවත්වාගෙන යාමට කටයුතු කර තිබුණි.

දෑසන 7.00 පමණ වන විට සුදු පැහැති සරමකින් සහ බැනියමකින් සැරසුන වයස අවුරුදු 50ක් පමන වූ හීන්දෑරි ප්‍රසන්න පෙනුමෙන් යුත් පුද්ගලයෙක් දේවාළයට පැමිණියේය. ඔහුගේ ගෙල වටාවට රතු පැහැති සාටකය නිසාවෙන් මේ කපු මහතාවන්නට ඇතැයි මම අනුමාණ කළෙමි

“ඕං නමෝ ආර්ය කුල දේවතාස්ස.....” කපු මහත්තයා මොනවදෝ මන්ත්‍ර වගයක් මුමුනමින් දේව කන්නලවුවක් සිදු කිරීමෙන් අනතුරුව සාත්තර කීමට පටන් ගත්තේය. මට පෙර පැමැණි පුද්ගලයින් කීහිපදෙනෙකු කපු මහත්තයා හමු වී තමාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාගැනීමෙන් අනතුරුව මාගේ වාරය පැමිණියේය.

“හා කෝ තිව්වානම් බලන්න ඔය පඬුරු පාක්කුඩම් ටික දේව මෑනියෝ ගාවින්.” කපු මහතා පැවසීය.

“දෙවියන් වහන්සේ කියන මොනවා හරි තේරෙන්නේ නැත්නම් ආපහු අහන්න. පැහැදිළි කරලා දේවි.” යයි ද ඔහු පැවසීය.

මම බුලත් හුරුල්ලක් මැදිත් රුපියල් දහසේ නොට්ටුවක් තබා දේවතා පින්තූරය ඉදිරිපස ඇති මේසය මත තැබුවෙමි.

අනතුරුව නැවත වතාවක් දේවරූපය දෙසට හැරුන කපු මහතා ලොකු සුවඳ දුම් කුඩු අහුරක් අසල තිබූ ගිනි කබලට දමා “ඕං නමෝ ආර්ය කුල දේවතාස්ස අංජනං තස්වං.........” යනුවෙන් මතුරමින් දෙපැත්තට වැනෙන්නට පටන් ගත්තේය.

“යුෂ්මතා මා හමුවන්න ආවේ ඇත්තටම මේ දේශපාලනේ මොනවද වෙන්නේ කියලා දැනගන්න නේද?” බැරැන්ඩි නමුත් පැහැදිළි හඬකින් ඔහු මගෙන් විමසූයේ මාව අන්දුන් කුන්දුන් කරමිණි.

“එසේය හාමුදුරුවනේ” මම ඉතාම බැගෑපත්ව පිළිතුරු දුන්නෙමි.

“මාගේ දර්ශනපතයේ දිස්වන ආකාරයට මේ ආණ්ඩුවේ උපරිම ආයුෂ අවුරුදු 2යි. තමුන්ට ඒක තේරෙනවද?”

“කොහොමද හාමුදුරුවනේ එහෙම වෙන්නේ?” මම ප්‍රශ්න කළෙමි.

“මේ දේශපාලන භූමිකාව ඇතුලේ ඉන්නවා ඉතාමත් සුක්ෂමශීලී තීරණ ගන්නා ඉතාම දක්ෂ පුද්ගලයෙක්. මේ කියන පුද්ගලයා බොහොම කපටි පුද්ගලයෙක්, කුමන්ත්‍රණ කරන්න බොහොම දක්ෂයි. සමහරක් නායකයෝ හදන්න වගේම තවත් සමහරක් අය නැති කරලම දාන්න මේ කියන පුද්ගලයා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයා එක්ක ඉන්නවා තවත් පුද්ගලයෝ කිහිප දෙනෙක්. ඔවුන්ට පුළුවන් මේ තියෙන මාධ්‍ය බොහොම සුක්ෂමව හසුරවන්න.”

ඔහු මොහොතකට සිය කතාව නැවැත් වීය.

නැවතත් උගුරේ රැල් බුරුල් හැර “කවුරු මොනවා කීවත් මේ කියන පුද්ගලයා රටේ මීලඟට අගමැති බවට පත්වෙනවා නිශ්චිතයි. ඒක වලක්වන්න බැහැ.”

“ඒත් ස්වාමීනී දැන් තියෙන්නේ UNP ආණ්ඩුවක් ජනාධිපතිතුමායි අගමැති තුමායි හොඳ අවබෝධයකින් කටයුතු කරන බවක් පේනවා නේ”

“දැනට එහෙම පෙනුනාට ජනාධිපතිතුමා වටේ ඉන්න පිරිසක් ඒ වගේම හිටපු ශ්‍රී-ලංකා නිදහස් පක්ෂ නායිකාවක් UNP එකේ කිහිපදෙනෙක්, අර කලින් කියපු දේශපාලඥයා සහ ඔහුගේ කන්ඩායම මේ අය මේ වෙනකොටත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටළු ඇතිකිරීමට උත්සාහ කරනවා. ඒ වගේම අර කියන දේශපාලඥයාගේ මාධ්‍ය සගයන් විසින් දැනට පවතින UNP ආණ්ඩුව ගැන කලකිරීමක් ජනතාව තුල ඇතිකරවීමට පටන් අරගෙන තියෙනවා. තව අවුරුද්දක් දෙකක් යනකොට UNP ආණ්ඩුවට තියෙන ජනතා විරෝධය උත්සන්න වෙනවා. එදාට අර කියන දේශපාලඥයා UNP එකෙන් ශ්‍රී-ලංකා එකට ඇවිත් ශ්‍රී-ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න කටයුතු කරනවා.”

“එතකොට ජනාධිපතිතුමා මේ ලඟදී කියලා තිබුනා නේද මේ ආණ්ඩුව වට්ටන්න දෙන්නේ නෑ කියලා”

“ජනාධිපති එහෙම කිව්වට එයා බලය අතඅරින්න සූදානම්. මෙතන සිද්ධවෙන්නේ කුමන්ත්‍රණයක් ජනාධිපතිත් නොදැනම මේ කුමන්ත්‍රනේට අහුවෙනවා.”

“එතකොට හිටපු ජනාධිපතිතුමාට මොකද වෙන්නේ. තාම මහින්දට පක්ෂය ඇතුලේ ලොකු සහයෝගයක් තියෙනවා නේද”

“දේශපාලන පක්ෂයක සහයෝගය ලැබෙන්නේ බලය අල්ලගන්න පුළුවන් කියලා හිතන එහෙම නැත්නම් බලය තියෙන මිනිස්සුන්ට. ශ්‍රී-ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන් නම් ඒක පිහිටවන්න පුළුවන් ඕනෑම කෙනෙකුට එම දේශපාලන පක්ෂයේ සහයෝගය ලබාගන්න පුළුවන්. කොහොමත් මේ වෙලාවේ ශ්‍රී-ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාවකුත් මේ කියන දේශපාලඥයාට සහාය දක්වනවා. ඒ වගේම මේ දේශපාලඥයා සහ හිටපු ජනාධිපතිවරයා අතර කිසිම පෞද්ගලික අමනාපයක් නැහැ. ඔහුව ජනාධිපතිකරවන්නත් මේ කියන දේශපාලඥයා බොහොම මහන්සිවෙච්ච කෙනෙක්.”

“එතකොට චෝදනා ගණනාවක් එල්ල වෙච්ච හිටපු ජනාධිපතිතුමාගේ සහෝදරයොන්ට මොකද වෙන්නේ?”

“මොනවා වෙන්න ද? ඒගොල්ලෝ ඔහෙමම ඉඳියි.”

“මිනිස්සු එහෙම ඉන්න දෙයිද?”

“දැන් අර අවි ගණුදෙනු සම්බන්ධ සිද්ධියේ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු කරන්න භාර අරගෙන තියෙන්නේ අර දේශපාලනඥයාගේ වෙබ් මාධ්‍ය භාරව කටයුතු කරන කෙනා. ඒත් එක්කම දැන් හිටපු ජනාධිපතිවරයා කරපු දේවල් සියල්ලගේම ලොකු වැරැද්දක් නැහැ කියන තැනට මිනිස්සු ගේන්න ඔවුන් කටයුතු කරනගමන් ඉන්නවා. පසුගිය සතියේ මේ දේශපාලඥයා හිටපු ශ්‍රී-ලංකා නිදහස් පක්ෂ නායිකාවත් හමු වෙලා සාකච්ඡා කලා.”

“එතකොට හාමුදුරුවනේ ජනතා අපේක්ෂා වලට මොනවද වෙන්නේ?”

“ජනතා අපේක්ෂා ලබාගන්න ලංකාවේ ජනතාව එකට අරමුණක් වෙනුවෙන් පෙළගැහෙන්න ඕනේ. එහෙම නැතිව කාලෙන් කාලෙට එක එක දේශපාලඥයා පස්සේ ගියාට ජනතා අපේක්ෂා ඉටුවෙන්නේ නෑ.”

මේ ටික කියපු ගමන් එක සැරේටම කපු මහත්තයා වෙව්ලලා ආපහු සාමාන්‍ය විදියට කතාකරන්න පටන්ගත්තා.

“මහත්තයා අවශ්‍ය ඔක්කොම අහගත්තා නේද?”

“ඔවු, බොහොම ස්තූතියි කපු මහත්තයා මම ගිහින් එන්නම්” කියාගෙන මම දේවාලයෙන් එළියට බැස්සේ කපු මහත්තයා දේවහාස්කමෙන් කිවූ සාත්තරයේ සඳහන් කරුණු පිළිබඳ කල්පනාකරමිනි.



Share on Google Plus