පාසල් හොකී සංගමය 'පෙස්‌ටා' වවාගෙන කයි.


මැලේසියාවේ පැවැත්වෙන 42 වැනි 'පෙස්‌ටා' ජාත්‍යන්තර සය සාමාජික හොකී තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් නියමිත මුදලට වඩා වැඩියෙන් මුදල් අයකිරීමේ සූදානමක්‌ පවතින බවට වාර්තා වේ.

එළැඹෙන 8 දා සිට 16 දා දක්‌වා පැවැත්වෙන අදාළ තරගාවලිය සඳහා වයස අවු. 15 න් පහළ බාලක හා බාලිකා කණ්‌ඩායම් දෙක බැගින් මෙන්ම අවු. 19 න් පහළ බාලක හා බාලිකා කණ්‌ඩායම් දෙක බැගින් වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 72 කට ආසන්න සංඛ්‍යාවක්‌ යොමු කිරීමට ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය මේ වන විට කටයුතු සංවිධානය කොට ඇත.

ඒ අනුව තරගාවලිය සඳහා සහභාගී වන එක්‌ අයෙකුගෙන් රු. 76,000 ක මුදලක්‌ අය කරන්නට යෙදී ඇති අතර එම මුදලට අමතරව සංචාරය සඳහා සහභාගීවන 11 දෙනෙකුගෙන් යුත් ගුරුවරුන් සඳහා එක්‌ ක්‍රීඩකයෙකුගෙන් වෙනම රු. 6000 ක්‌ බැගින් අය කිරීමට කටයුතු කරන බවටද වැඩිදුරටත් වාර්තා වේ.

මැලේසියාවට යාමට හා ඒමට මේ දිනවල ගුවන් ටිකට්‌පත් ගාස්‌තුව ආසන්න වශයෙන් 29,000 ක්‌ පමණ වන අතර වැඩි ගුවන් ටිකට්‌පත් සංඛ්‍යාවක්‌ ලබා ගැනීමේ දී තවත් ටිකට්‌පත් සංඛ්‍යාවක්‌ නොමිලයේ ලබා ගැනීමේ අවස්‌ථාවද පවතී. (සාමාන්‍යයෙන් මෙවැනි ගුවන් ටිකට්‌පත් 16 කට එකක්‌ නොමිලයේ නිකුත් කරනු ලබන අතර මෙය පාසල් නියෝජනයක්‌ වන බැවින් ක්‍රීඩා අමාත්‍යාංශයේ අවසරය ලත් ලිපියක්‌ ඉදිරිපත් කිරීම මගින් නොමිලයේ ලැබෙන ටිකට්‌ සංඛ්‍යාව තව වැඩිකර ගැනීමේ අවස්‌ථාව උදාවනු ඇත.)

තරගාවලියට සහභාගීවන එක්‌ එක්‌ වයස්‌ කාණ්‌ඩයන්ගෙන් කාන්තා හා පිරිමි කණ්‌ඩායම බැගින් යොමු කළ යුතු වුවත් මෙසේ කණ්‌ඩායම් සංඛ්‍යාව වැඩි කර ඇත්තේ යටි අරමුණක්‌ සහිතව බවත් ඒ පිළිබඳව තතු දත් ක්‍රීඩා භාර ආචාර්ය වරයෙක්‌ පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ක්‍රීඩා භාර ආචාර්යවරයා ' මේ සංචාරය වෙනුවෙන් එක්‌ ළමයෙකුගෙන් අය කරන මුදල ඇත්තටම ගොඩක්‌ වැඩියි. තව තරගාවලියට යන ගුරුවරුන් 11 දෙනා වෙනුවෙනුත් ළමයින්ට ගෙවන්න වෙලා. මේකට යන්නේ හොඳම දක්‌ෂතා තියෙන අය නෙමෙයි සල්ලි තියෙන ළමයි තමයි ගොඩක්‌ යන්නේ. අනික එක්‌ වයස්‌ කාණ්‌ඩයකින් කණ්‌ඩායම් හතරක්‌ ඉදිරිපත් කරන්න කොහෙත්ම අවශ්‍යතාවයක්‌ නැහැ. මට පේන විදිහටනම් ක්‍රීඩාව බිස්‌නස්‌ එකක්‌ කරගන්නයි මේ අය හදන්නේ' යනුවෙන් පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්‌තර දැන ගැනීම සඳහා ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ සභාපති සී. කරුණානායක මහත්මිය දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට ඊයේ කිහිප විටක්‌ම උත්සාහ දැරුවද එම උත්සාහයන් ව්‍යර්ථ විය.


-දිවයින

Share on Google Plus