කුසල් - තිරිමාන්න ශ්‍රී ලංකාව දිනවති.


කුසල් පෙරේරා හා ළහිරු තිරිමාන්න දෙවැනි කඩුල්ලට ගොඩනැගූ වාර්තාගත සබඳතාව හේතුවෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (04දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 08 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 225ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු 02 ක් පමණක් දැවී තරගයේ 36.3 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකරයාමට සමත් වූහ.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවන් වූ කුසල් පෙරේරා හා ළහිරු තිරිමාන්න දෙවැනි කඩුල්ලට ලකුණු 156 ක සබඳතාවක් ගොඩනගමින් ජයග්‍රාහී මාවත විවර කළහ. මෙම සබඳතාව දෙරට අතර ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි කඩුල්ලට වාර්තා වූ ඉහළම සබඳතාව වේ. මීට පෙර කුමාර් සංගක්කාර හා මාවන් අතපත්තු (138/2005 වසරේ දඹුල්ලේදී) මෙම කඩුල්ලේ ඉහළම සබඳතාව ගොඩනගා තිබුණි.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවා වූ කුසල් පෙරේරා ලකුණු 99 ක් රැස්කරගෙන සිටියදී, අවාසනාවන්ත ලෙස ජයග්‍රහණය පෙනෙන මානයේදී දෙවැනි කඩුල්ල ලෙස මුලු ලකුණු 196දී දැවී ගියේය. කුසල් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 99දී දැවී ගිය සිවුවැනි පිතිකරුවාය. මීට පෙර රොමේෂ් කළුවිතාරණ (1) හා සනත් ජයසූරිය (2) මෙවැනි දැවීයාමකට ලක්ව ඇත.

කුසල්ට අමතරව ළහිරු තිරිමාන්න ලකුණු නොදැවී ලකුණු 81ක් හා දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 15ක් රැස්කළහ. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුලු ලකුණු 40දී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 17කට දැවී ගියේය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර පන්දුවාර 37.4 ක් අවසානයේදී සියල්ලන් දැවී ලකුණු 214 ක් රැස්කිරීමට සමත්විය. කොදෙව් ඉනිමේ පන්දුවාර 26.4 ක් (4/149) අවසානයේදී තරගයට වාර්ෂාවෙන් බාධා ඇති වූ අතර, ඒ හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් තරගය පැවැත්වීමට නොහැකි විය. කෙසේ නමුත් තරගය පන්දුවාර 38කට සීමාකර නැවත ආරම්භ කිරීමට තරග තීරකවරයා කටයුතු කළේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ යටත් නොවූ ආරම්භක පිතිකරු ජොන්සන් චාර්ලස් පන්දු 70කදී ලකුණු 83ක් හා මාලන් සැමුවෙල්ස් පන්දු 61කදී ලකුණු 63ක් රැස්කරමින් කොදෙව් ඉනිම ඔසවා තැබූහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන හා ලසිත් මාලිංග කඩුලු දෙක බැගින් බිඳහෙළමින් පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වූහ. මෙම තරගයේ කොදෙව් කණ්ඩායම මාලන් සැමුවෙල්ස් විසින් මෙහෙයවනු ලැබීය. දෙරට අතර පැවති පළමු එක්දින තරගයේදී නියමිත පන්දුවාර සංඛ්‍යාව මන්දගාමීව යැවීම හේතුවෙන් තරග තහනමකට ලක්වූ කොදෙව් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙස කටයුතු කළ ජේසන් හෝල්ඩර් මෙම තරගයට ක්‍රීඩා නොකළේය.

තරගයේ වීරයා ලෙස කුසල් පෙරේරා සම්මාන දිනාගත්තේය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය එළඹෙන සෙනසුරාදා (07දා) පල්ලෙකැලේදී පැවැත්වේ.


Share on Google Plus