රනිල් ඉවතට- අළුත් අගමැති කරලියට.


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නෙරපා එම ආණ්ඩුව බිඳ වට්ටවා එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත නව සම්මුතික ආණ්ඩුවක් බිහි කර ගැනීම වෙනුවෙන් එජනිස මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා උත්සාහයක් ගනිමින් තිබෙන බව වාර්තා වේ.

පසුගිය පස්වන දින පාර්ලිමේන්තුව තුළ දී ඇමැති මණ්ඩලය නියෝජනය කරන එජාප හා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු රැුසක් සමඟ ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇත. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් සියයට අනූවක තරම් පිරිසක් මේ වන විටත් සිය නායකයා හා වත්මන් ආණ්ඩුව කෙරෙහි දැඩි කලකිරීමකින් පසු වීම හේතුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතාගේ වෑයම සාර්ථක වන ලකුණු ද පහළව ඇතැයි වාර්තා වේ.

ඒ අතර එජාපයේ ප‍්‍රබලම නායකයන් කිහිප දෙනකු ද සිටින බව දැන ගැනීමට ඇත. වසර ගණනාවක් මහන්සි වී රාජපක්ෂ රෙජීමය පෙරළා දමා එජාපය විසින් ආණ්ඩුවක් පිහිටුවා ගනු ලැබූව ද අද වන විට එම දේශපාලන සටනේ නොසිටි පුද්ගලයන රැසක් ආණ්ඩුවේ ඉහළම තැන් අල්ලාගෙන ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීම එජාපයේ ප‍්‍රබලයන්ගේත් දැඩි කලකිරීමට හේතු වී ඇත.

මේ අතර දිනේෂ් ගුණවර්ධන මහතාගේ උත්සාහයට වාසුදේව නානායක්කාර මහතාගේ ද පූර්ණ සහාය ලැබී ඇති අතර නානායක්කාර මහතාගේ ද මතය වී ඇත්තේ වෙනම පක්ෂයක් ලෙස ඒකරාශී වනවාට වඩා සන්ධානය තුළ සිටිමින් එජාපයේ මන්ත‍්‍රීවරුන්ගේ සහායෙන් නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම වඩා පහසු බවය.

එමෙන්ම ලබන පළාත් පාලන මැතිවරණයට පෙර මෙම ආණ්ඩු වෙනස සිදු කර එම මැතිවරණයට සන්ධානයෙන්ම ඉදිරිපත් වීම සිදු විය යුතු බව ඒ මහතාගේ අදහස වී තිබේ. විමල් වීරවංශ මහතා වෙනම ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ගොඩනැගීම සඳහා ගෙන යන ව්‍යාපාරයට සම්බන්ධ විය යුතු නැති බවත් මෙහි දී එකඟතාවකට පැමිණ ඇත. මෙහි දී මහින්දවාදියකු වන මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ සහායත් මේ සඳහා ලබාගත හැකි බවය.

ඒ කෙසේ නමුත් එලෙස පිහිටුවීමට බලාපොරොත්තු වන නව ආණ්ඩුවේ අගමැති ධුරය හිමි විය යුත්තේ කවරකුටද යන්න ගැන තවමත් තීරණයක් ගෙන නොමැත. නමුත් මේ සඳහා එජාපයේම ජ්‍යේෂ්ඨයකු පත් කර ගැනීම වඩා ප‍්‍රායෝගික වනු ඇති බව ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලයන්ගේ අදහස වී ඇත.


-SathHanda

Share on Google Plus